රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් ත්‍රස්තවාදී අරමුණු ඉදිරියට ගෙන යන්න නවීන යාන්ත්‍රණ ක්‍රියාත්මක කරනවා - එක්සත් ජාතීන් සඳහා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහතා කියයි

රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් ත්‍රස්තවාදී අරමුණු ඉදිරියට ගෙන යන්න නවීන යාන්ත්‍රණ ක්‍රියාත්මක කරනවා – එක්සත් ජාතීන් සඳහා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහතා කියයි

රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් ඔවුන්ගේ ත්‍රස්තවාදී අරමුණු තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා නවීන යාන්ත්‍රණයන් භාවිත කරන බව අප විසින් අමතක නොකළ යුතු යැයි එක්සත් ජාතීන් සඳහා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහතා සදහන් කරයි. ඔහු මේ බව සදහන් කර ඇත්තේ ළමා සොල්දාදුවන්ට එරෙහි ජාත්‍යන්තර දිනය සමරමින් පෙබරවාරි 12 වැනිදා පැවැති රැස්වීමකදීය. එම රැස්වීමේදී මොහාන් පීරිස් මහතා සිදු කර ඇති සම්පූර්ණ කතාව මෙසේය.

මෙම වැදගත් උත්සවය සංවිධානය කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුවට සහ ළමුන්, සාමය සහ ආරක්ෂාව පිළිබඳ ඩලෙයාර් ආයතනයට මෙන්ම, කැනඩාව, රුවන්ඩාව සහ උරුගුවේ යන රටවල නිත්‍ය දූත මණ්ඩලවලට මගේ ස්තුතිය පිරි නැමීමට අපේක්ෂා කරමි. විශේෂයෙන් අද දින, ළමා සොල්දාදුවන් භාවිත කිරීමට එරෙහි ජාත්‍යන්තර දිනය වශයෙන් අපි සලකමු. මෙහිදී, එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම් කොෆි අන්නන් පැවසූ කරුණක් මට සිහිපත් නොකර සිටිය නොහැකිය. එනම්, “පසුගිය දශකයේ අත්දැකීම්වලින් අපට උකහා ගත හැකි පාඩමක් තිබේ නම්, ඒ ළමා සොල්දාදුවන් භාවිත කිරිම මානුෂික කාරණයකට වඩා වැඩි දෙයක් බවත්; එහි බලපෑම සැබෑ සටන් පැවති කාලයට වඩා බොහෝ සෙයින් පවතින බවත්; ගැටලුවේ විෂය පථය සෘජුවම ඊට සම්බන්ධ දරුවන් සංඛ්‍යාව ඉක්මවා යන බවත් ය."  “ළමා සොල්දාදුවන් භාවිත කිරීමට අපගේ ලෝකයේ ඉඩක් නැත...රටවල් අත්වැල් බැඳ ගනිමින් වැන්කුවර් ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම මඟින්, ළමයින්ට ළමයින් ලෙස ජීවත් වීම පිළිබඳව හා සැමට ආරක්ෂිත හා වඩාත් සාධාරණ අනාගතයක් ගොඩ නැගීම පිළිබඳව අපට සහතික විය හැකිය." යනුවෙන් කැනඩා අග්‍රාමාත්‍ය ගරු ජස්ටින් ටෲඩෝ මහතා මේ අදහස තහවුරු කරමින් සඳහන් කළ විට, මම තවදුරටත් දිරිමත් වීමි.

ඔබ කවුරුත් දන්නා පරිදි, වසර 30 කට ආසන්න කාලයක් තිස්සේ රට භීතියට පත් කළ රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් කණ්ඩායමක් අතින්, ළමා සොල්දාදුවන් පිළිබඳ දුක්ඛිත සංසිද්ධිය ශ්‍රී ලංකාව විසින් අත් විඳින ලදී. 2009 වසරේදී මෙම කණ්ඩායම උදාසීන කිරීමෙන් අනතුරුව, මෙම දරුවන් පුනරුත්ථාපනය කිරීමේ සහ ඔවුන්ගේ පවුල් හා යළි එක් කිරීමේ සැලකිය යුතු කාර්යභාරය ශ්‍රී ලංකා රජය විසින් ඉටු කෙරිණි. හිටපු ළමා සොල්දාදුවන් වෙනුවෙන් ශ්‍රී ලංකාව විසින් සිදු කරන ලද පුනරුත්ථාපන වැඩසටහන පිළිබිඹු කරන ඡායාරූප කිහිපයක් පෙන්වීමට මම දැන් කැමැත්තෙමි. එහිදී අප මෙම දරුවන්ට අපගේම දරුවන්ට මෙන් සැලකූ අතර ඔවුන් විධිමත් අධ්‍යාපනයට යොමු කිරීමට පියවර ගැණිනි. ඊට අමතරව, බාලදක්ෂ වැඩසටහන්වලට හා මාධ්‍ය ආයතනයක ගුවන් විදුලි වැඩසටහන් කිහිපයකට පවා සහභාගිවීමට ඔවුන්ට අවස්ථාව ලැබිණි.

පුළුල් කරුණු විදහා දක්වන වෑන්කූවර් ප්‍රතිපත්තීන්හි අඩංගු විධි විධාන හා පූර්ව අනතුරු ඇඟවීම් ඇතුළත් පරිච්ඡේද කිහිපයක් මා විසින් යොමු කළ යුතු වේ. අප කතා කරන විට, අප විසින් නැවැත්වීමට උත්සාහ දරන ඇතැම් ක්‍රියාකාරකම්වලම නිරත වුණු මේ රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් පිළිබඳව අපට නෑසු කන්ව සිටිය නොහැකිය. ළමා සොල්දාදුවන් භාවිත කිරීම පිළිබිඹු කෙරෙන, වෛරය හා ත්‍රස්තවාදය පිළිබඳ අදහස ප්‍රවර්ධනය කිරීම සඳහා ළමුන් භාවිත වන ඡායාරූප කිහිපයක් මම ඔබට සැකෙවින් පෙන්වමි. එක් ඡායාරූපයක, ඔබට පෙනෙන පරිදි, යුද නිල ඇඳුමෙන් සැරසුණු ළමයින් රොකට් විදින, මිසයිල හා තුවක්කු වල අනුරූ රැගෙන යන දසුනකි. මෙය සුන්දර නාට්‍යයකි! මෙය සින්ඩරැල්ලා හෝ ජැක් හා බෝංචි වැල හෝ  පුංචි රතු හැට්ටකාරී නොව, ළමුන් රොකට් විදින ඇතුළුව සියලු වර්ගවල ආයුධවල අනුරූ රැගෙන යමින් වෛරය ප්‍රවර්ධනය කිරීමකි. අනෙක, වයස අවුරුදු 8 තරම් කුඩා පාසල් ළමයි මරාගෙන මැරෙන සොල්දාදුවන් ලෙස සැරසී නාට්‍යයක් රඟ දක්වති. ළමා සොල්දාදුවන් උත්කර්ෂයට නංවන තවත් කුඩා නාට්‍යයක ඡායාරූපයන් මෙන්න. මෙම ඡායාරූප මගින් තොරතුරු ගණනාවක් දැක්වෙයි.

මෙවැනි කණ්ඩායම් ක්‍රියා කරන ආකාරය අප සියල්ලන්ම දන්නා අතර, මම මෙහිදී ඒ පිළිබඳව කතා කිරීමට බලාපොරොත්තු නොවන්නෙමි. එහෙත්, මෙම කණ්ඩායම විසින් නිර්මාණය කරන ලද සැබෑ ළමා සොල්දාදුවන් ශාරීරික වශයෙන් ශ්‍රී ලංකාවේ සිටියදී, ඔවුන්ට විදේශයන්හි සිටින ඩයස්පෝරාවේ පාර්ශවවලින් ආධාර, අනුග්‍රහය සහ ගෞරවය ලබා දී ඇතැයි යන කාරණය ඉස්මතු කිරීම වැදගත් යැයි මම සිතමි. අවාසනාවකට මෙන්, ශ්‍රී ලංකාවෙන් සැතපුම් දහස් ගණනක් ඈතින් ජීවත් වන ළමුන්, ළමා සොල්දාදුවන් උත්කර්ෂයට නැංවීමේ උත්සවවලට සහභාගී වන අයුරු සහ මෙම රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් සඳහා අරමුදල් රැස් කරන අයුරු අප දැක තිබේ. ඩයස්පෝරාවේ දරුවන්ට සංස්කෘතිය හා භාෂාව පිළිබඳ දැනුම ලබා දීමේ අරමුණින්, විශේෂයෙන් විදෙස් රටවල පාසල් භාවිතා කිරීම ඔවුන්ගේ ක්‍රමවේදයට ඇතුළත් විණි. තරුණ පරම්පරාවට ඔවුන්ගේ සංස්කෘතිය හා සාරධර්ම ඉගැන්වීමේ කදිම හා ප්‍රශංසනීය ආවරණයට යටින්, නපුරු හා බිය උපදවන දෙයක් සිදු වෙමින් පැවතිණි. එනම්,  ඔවුන්ට සතුරු යැයි වැරදි ලෙස විශ්වාස ගැන්වූ ජාතීන්ට එරෙහිව වෛරීසහගත තත්ත්වයකට කුඩා දරුවන්ගේ මොළ සේදීමයි. මෙම ඇතැම් ආයතන මෙම රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් කණ්ඩායම සමඟ ඉතා සමීප සම්බන්ධතා තිබුණු බවත්, සැබැවින්ම ඔවුන්ගේ ශාඛා සංවිධාන බවත්, ඔවුන්ගේ නීතිවිරෝධී ක්‍රියාකාරකම් විදේශයන්හි ප්‍රචාරය කිරීමට හා  මුදල් ඉපයීමේ මාර්ගයක් ලෙසින්ද භාවිත වෙමින් තිබුණු බවත් අපි සොයාගෙන ඇත්තෙමු. සැබැවින්ම, යුරෝපයේ පමණක් සිසුන් 20,000 කට ආසන්න සංඛ්‍යාවකින් සමන්විත එවැනි ආයතන 350 කට වැඩි සංඛ්‍යාවක් තිබිණි.

තම සහෝදර සහෝදරියන් ඝාතනය කිරීමේ මෙහෙයුමක නිරත ළමා සොල්දාදුවන්ගේ දරුණු දුක්බර කතාව නැවත පණ ගැන්වීමට බල කෙරුණු, කුඩා ළමුන් ඉදිරිපත් කරන අහිංසක ලෙස පෙනෙන නාට්‍ය හා ප්‍රසංග ඇතුළත්, ඩයස්පෝරාවේ ඇතැම් ක්‍රියාකාරකම් මෙම ඡායාරූපවල දැක්වේ. මගේ ආදරණීය මිත්‍රවරුනි, ජාත්‍යන්තර ප්‍රජාව වන අප ඒ ගැන කරන්නේ කුමක්ද? පිළිතුර ඉතා කුඩා ය. එනම්, කතා ගණනාවක් නමුත්, යටහත්ව ත්‍රස්තවාදය උත්කර්ෂයට නැංවීමට උදාසීනව ඉඩ දීමයි. මෙය නොසැලකිලිමත් හා එතරම් අවධානයට ලක් නොවූ කරුණක් වූ අතර, දෙමළ තරුණයින් ක්‍රමානුකූලව රැඩිකල්කරණය වීමට එය හේතු වී තිබේ. ඉස්ලාමීය මද්රාසා පාසල්වලට බොහෝ කලකට පෙර, ළමුන් මරාගෙන මැරෙන ඝාතකයින් හා ත්‍රස්තවාදීන් බවට මනෝ විද්‍යාත්මකව සකස් කිරීම මෙම රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් කණ්ඩායම සමඟ, ඉතා ක්‍රමානුකූලව ආරම්භ වූ බව පැහැදිලිය.

මෙම කාරණා සම්බන්ධයෙන් බල කිරීමේ අපගේ උත්සාහයන් මඟින්, අප භාවිත කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මනුෂ්‍යත්වයේ පරමාදර්ශ, ඔවුන්ගේ අභිමතාර්ථ පෝෂණය කිරීම හා ප්‍රචාරය කිරීම උදෙසාද භාවිතා කිරීමට ඉඩ නොදෙන බව සහතික කරගත යුතුය.

බොහෝ විට ළමුන් ජාත්‍යන්තර වේදිකාවන්හි සංඛ්‍යාත්මක අංකනයන්ට පමණක් සීමා වන අතර, ළමයින් ආයුධ රැගෙන යන්නේ ඇයිද යන්න හා ඔවුන්, ස්වකීය න්‍යාය පත්‍රයන් සාක්ෂාත් කර ගැනීම සඳහා ඕනෑම දෙයක් කළ හැකි ව්‍යාපාරවල ගොදුරක් වන්නේ කුමන තත්වයන් යටතේද යන්න පිළිබඳව යොමු වන්නේ, ඉතාමත් සුළු අවධානයකි. වැන්කුවර් ප්‍රතිපත්ති යනු, මෙම දරුවන්ගේ දුක්ඛිත තත්වයෙන් ඔවුන් මුදාලීම පිණිස ජාත්‍යන්තර වශයෙන් හිතකර කාර්යයන් කිසිවක් සිදුව නොමැති බැවින්, බොහෝ කල් ගත වීමෙන් පසුව ලැබුණු දෙයකි.

ක්‍රිස්තුස් වහන්සේ පැවසූ ලෙසින්, දරුවන් ආරක්ෂා කිරීම පිළිබඳව ශුද්ධ ලියවිල්ලෙහි සඳහන්ව ඇති දැඩි අවවාදය උපුටා දක්වමින් මම කතාව අවසන් කරමි. “යමෙකු මේ කුඩා දරුවන්ගෙන් එක් අයකු වට්ටවා දැමීමට හේතු වේ නම්, විශාල ඇඹරුම් ගලක් ගෙල වටා එල්ලා ගැඹුරු මුහුදෙහි ගිලී යාම හොඳය. මිනිසුන් පැකිලී වැටිමට හේතු වන කාරණාවන් නිසා ලෝකය දුකට පත් වේ. ගෙනෙන තැනැත්තාට අවාසනාව කැන්දමින් ; එවැනි දේ පැමිණිය යුතුය." අප අවංකව හා වේගවත්ව ක්‍රියා නොකරන තාක්, අපගේ ගිවිසුම්වල නව්‍යතාවය ප්‍රමාණවත් නොවේ. වැන්කුවර් ප්‍රකාශනය නිවැරදි දිශාවට පියවරක් වනු ඇත.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close