යැන්ගොන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පවත්වන ලද වාර්ෂික කඨින පූජෝත්සවය 2022

 යැන්ගොන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පවත්වන ලද වාර්ෂික කඨින පූජෝත්සවය 2022

 

මියන්මාරයේ පා තයින් ආරාමයේ වාර්ෂික කඨින පූජෝත්සවය, 2022 ඔක්තෝම්බර් 22 වැනි සෙනසුරාදා දින, යැන්ගොන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සාර්ථකව පවත්වන ලදී. අනුරාධපුර අවුකන රජමහාවිහාරයේ විහාරාධිපති තැන්පත් සාස්ත්‍රවෙල්ලියේ ධම්මකිත්ති හිමි, ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ මියන්මාරයේ ශ්‍රී ලාංකික ප්‍රජාව ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

මෙහිදී සිය අදහස් පළ කළ මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර මැතිතුමා, ශ්‍රී ලාංකික ප්‍රජාව පිළිගත් අතර ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර පවතින මිත්‍ර සබඳතා ශක්තිමත් කිරීම හා සබැඳි තම සැලසුම් සහ වැඩසටහන් තිරසාරව පවත්වාගෙන යාම සඳහා තානාපති කාර්යාලය වෙත ඔවුන් දක්වන අඛණ්ඩ සහයෝගය අගය කළේ ය.

සර්වරාත්‍රී පිරිත් සජ්ඣායනයෙන් සහ දානමය පිංකමෙන් අනතුරුව බෞද්ධ කොඩි, මල් සැරසිලි සහ මියන්මාරයේ සම්ප්‍රදායික නර්තන කණ්ඩායම් ඇතුළත්ව තානාපති කාර්යාල පරිශ්‍රයේ සිට ආරම්භ කරන ලද විචිත්‍රවත් ආගමික පෙරහැරක් මඟින් කඨින චීවරය සහ සම්ප්‍රදායික ‘කප් රුක’ පා තයින් ආරාමය වෙත වැඩමවන ලදී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

යැන්ගොන්

2022 ඔක්තෝබර් 26 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close