මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මැතිතුමා සමඟ  ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මැතිතුමා සමඟ  ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි

දෙදින නිල සංචාරයක් සඳහා නවදිල්ලි නුවරට පැමිණි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා 16 දින ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය. මෙම සාකච්ඡාව ඉන්දීය රජයේ රාජ්‍ය අමුත්තන්ගේ නිල නිවස වන හයිද්‍රාබාද් මන්දිරයේදී පැවැත්විණි.

විශේෂයෙන්ම දෙරට අතර පවත්නා ආර්ථික හවුල්කාරිත්වයට අදාළ කරුණු රැසක්ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා ආශ්‍රිත කරුණු පුළුල් පරාසයක් අමාත්‍යවරුන් දෙදෙනාගේ සාකච්ඡාවට බඳුන් විය. ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදුන් සහය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය රාජපක්ෂ මැතිතුමා විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර් මැතිතුමා වෙත සිය ස්තුතිය පුද කළේය. ශ්‍රී ලංකාවේ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් ඉන්දියාව අඛණ්ඩව ප්‍රතිචාර දක්වන බව, අමාත්‍ය ජයශංකර් මැතිතුමා මුදල් අමාත්‍යවරයා හමුවේ තහවුරු කළේ ය.

මෙම හමුවෙන් අනතුරුව ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් සත්කාරකත්වය සපයන ලද ක්‍රියාකාරී රාත්‍රී භෝජන සංග්‍රහයක් ශ්‍රී ලංකා දූත පිරිස වෙත පිරිනමන ලදි.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් නිලූක කදුරුගමුව මහතා යනාදීහු ද මුදල් අමාත්‍ය රාජපක්ෂ මැතිතුමා සමඟ මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

මෙම හමුවට පෙර, ඉන්දියාවේ විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ශ්‍රින්ග්ලාසහ ඉන්දියාවේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී වික්‍රම් මිස්රි යන මහත්වරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා හමු වූහ.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නවදිල්ලිය

2022 මාර්තු 24 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close