මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා හමුවෙයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා හමුවෙයි

ඉන්දියාවේ සමීප සහ මිත්‍රශීලී අසල්වැසියකු වන ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාව සැමවිටම පෙනී සිටින බව, ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා ප්‍රකාශ කළේ ය. එතුමා මේ බව සඳහන් කළේ ඉන්දියාවේ සංචාරයක නිරත වූ ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා 16 දින  නවදිල්ලි නුවර දී එතුමා හමු වූ අවස්ථාවේදී ය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා පසුගිය වසරේ දෙසැම්බර් මස නිරත වූ ඉන්දීය සංචාරය අතරතුර දී එකඟ වූ කෙටි හා මධ්‍ය කාලීන ආර්ථික සහයෝගීතා ක්‍රියාමාර්ග පිළිබඳ පසු විපරම් කිරීම සඳහා, මෙම දෙදින නිල සංචාරය සඳහා නවදිල්ලි නුවරට පැමිණියේ ය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා මුදල් අමාත්‍යවරයා අතර පැවති මෙම හමුව පාර්ලිමේන්තු මන්දිරයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි. මෙම හමුව ඉතා සුහදශීලී අයුරින් පැවැත්විණි.

සාකච්ඡාව ආරම්භයේ දී අදහස් දැක්වූ මුදල් අමාත්‍ය රාජපක්ෂ මැතිතුමා, මෙම තීරණාත්මක මොහොතේ දී ඉන්දියාව ශ්‍රී ලංකාව වෙත ලබා දී ඇති සහය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා වෙත සිය ස්තුතිය පළ  කළේ ය. ඉන්දියාවේ සමීප මිතුරෙකු වන ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාව සැමවිටම සමීපව සිටින බව, අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා අමාත්‍යවරයා හමුවේ තහවුරු කළේ ය.

මෙම හමුව අතරතුර දී අග්‍රාමාත්‍යවරයා හා අමාත්‍යවරයා  ද්විපාර්ශ්වික සබඳතා ආශ්‍රිත පුළුල් පරාසයක කරුණු පිළිබඳව සාකච්ඡා කළහ. සාකච්ඡාවට බඳුන් වූ අනෙකුත් කරුණු අතර කෘෂිකාර්මික ක්ෂේත්‍රය, පුනර්ජනනීය බලශක්තිය, ඩිජිටල්කරණය, සංචාරක ව්‍යාපාරය සහ ධීවර කර්මාන්තය යන ක්ෂේත්‍ර ද ඇතුළත් විය.

ශ්‍රී ලංකාව කාබනික කෘෂිකර්මාන්තය කරා ගමන් කිරීම සඳහා ගත් තීරණය පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍යවරයා මෙහිදී සාකච්ඡා කළහ. මෙහිදී අදහස් පළ කළ අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා, ස්වභාවික ගොවිතැන මගින් හිමිවන ප්‍රයෝජන සහ ශ්‍රී ලංකාවට වැදගත් විය හැකි නැනෝ පොහොර ඇතුළුව, ස්වභාවික ගොවිතැන ආශ්‍රිත තාක්ෂණික ක්‍රම සහ නිෂ්පාදන සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සතු පළපුරුද්ද පිළිබඳව අවධාරණය කළේ ය.

ශ්‍රී ලංකාව තුළ පුනර්ජනනීය බලශක්තිය සංවර්ධනය කිරීමේ සහයෝගීතාව අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් වන බැවින් එය සක්‍රීය ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා හා අමාත්‍යවරයා සිය එකඟත්වය පළ කළහ.

අද්විතීය ඩිජිටල් අනන්‍යතාවක් සම්බන්ධයෙන් ඉන්දියාව සතු විශේෂඥ දැනුම සහ ඒ හා සමාන වැඩසටහනක් හරහා ශ්‍රී ලංකා රජය සමඟ ද්විපාර්ශ්වික සහයෝගීතාව පැවැත්වීම සම්බන්ධයෙන් වන යෝජනාවට අනුව, එවැනි අනන්‍යතාවක් මගින් සාමාන්‍ය ජනතාවට විවිධ සේවා සඳහා ප්‍රවේශ වීම සඳහා වේදිකාවක් නිර්මාණය වන බව මෙහිදී අවධාරණය කෙරිණි.

ඉන්දීය සංචාරකයන් විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා, ශ්‍රී ලංකාවේ රාමායණ මඟ ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම සහ ගුජරාටය ඇතුළු ඉන්දීය බෞද්ධ ස්ථාන ජාලය ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම ද මෙහිදී ඉස්මතු කෙරිණි. මෙම වාතාවරණය හමුවේ, රාජ්‍ය මට්ටමෙන් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉවහල් වන ව්‍යුහයක් වශයෙන් කටයුතු කිරීමේ හැකියාව සතු, 2009 වසරේ දී ගුජරාට් ප්‍රාන්තය හා ශ්‍රී ලංකාව අතර අත්සන් තබන ලද සංචාරක ව්‍යාපාරය පිළිබඳ අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් ද, විශේෂාකාරයෙන් සඳහන් කරන ලදි.

දෙරට අතර පවත්නා ධීවර ගැටළුව සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක නිරත වූ අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා  සහ අමාත්‍ය රාජපක්ෂ මැතිතුමා, ධීවරයින්ට මානුෂීය ලෙස සැලකීම, ජීවනෝපාය, බලාත්මක කිරීම, සාගරය හා සබැඳි පරිසර විද්‍යාව, අත්අඩංගුවට ගත් ධීවරයින් සහ ඔවුන්ගේ බෝට්ටු කල්තියා නිදහස් කිරීම යනාදිය ඇතුළු එහි සංකීර්ණ සහ බහුවිධ අංග හඳුනා ගත්හ. මෙම සංකීර්ණ ගැටළුවට ස්ථීර විසඳුමක් සෙවීමේ දැඩි අවශ්‍යතාව පිළිබඳව ද ඔවුන් දෙදෙනා සිය එකඟත්වය පළ කළහ.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා ද, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා සමඟ මෙම හමුව සඳහා සහභාගී විය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නවදිල්ලිය

2022 මාර්තු 24 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close