මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සාර්ථක ඉන්දියානු සංචාරයක් නිමා කරයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සාර්ථක ඉන්දියානු සංචාරයක් නිමා කරයි

ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය ගේ ඇරයුමක් අනුව, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2021 දෙසැම්බර් 01 සිට 02 දක්වා නවදිල්ලි නුවර සාර්ථක දෙදින නිල සංචාරයක නිරත විය. ඉකුත් ජූලි මාසයේදී මුදල් අමාත්‍ය ධුරයට පත් වීමෙන් පසු ඒ මහතා යෙදුණු පළමු විදෙස් සංචාරය මෙයයි.

මෙම නිල සංචාරයේදී, අමාත්‍ය රාජපක්ෂ මහතා මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සමඟ දෙදිනක් තුළ අවස්ථා දෙකක දී, ඒකාබද්ධ සාකච්ඡා වට දෙකක් පැවැත්වීය. විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතාද මෙම සාකච්ඡාවලට එක්වීම විශේෂත්වයකි. විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ වෙනම ද සෘජු ද්විපාර්ශ්වික සාකච්ඡා වටයක් පවත්වනු ලැබිණි.

අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, ඛනිජ තෙල් සහ ස්වාභාවික වායු පිළිබඳ අමාත්‍ය හර්දීප් සිං පූරි සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් කුමාර් ඩෝවාල් යන මහත්වරුන්ද හමුවිය.

වසර ගණනාවක් පුරා ක්ෂේත්‍ර ගණනාවක ඉන්දියාව ශ්‍රී ලංකාව වෙත ලබාදුන් දීර්ඝ කාලීන සහයෝගය පිළිබඳව  අමාත්‍ය රාජපක්ෂ මහතා මෙම රැස්වීම්වලදී  සිය ස්තුතිය පළ කළේය.

ශ්‍රී ලංකා මුදල් අමාත්‍යවරයා ඉන්දීය මුදල් අමාත්‍යවරිය සහ විදේශ කටයුතු අමාත්‍යවරයා සමග පවත්වන ලද සාකච්ඡාවලදී දෙරට අතර ආර්ථික සහයෝගීතාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළේය. ද්විපාර්ශ්වික සබඳතාවට අදාළ අන්‍යෝන්‍ය වැදගත්කමක් ඇති කරුණු රාශියක් පිළිබඳව මෙහි දී අවධානය යොමු විය. ද්විපාර්ශ්වික සබඳතාව විකාශනය වන ආකාරය පිළිබඳව දෙපාර්ශ්වයම සතුට පළකළහ.

එම සාකච්ඡාවල දී සහ පැවැති රැස්වීම්වලදී අමාත්‍ය රාජපක්ෂ මහතා, තමාට සහ සිය දූත පිරිසට දක්වන ලද ආගන්තුක සත්කාර සහ සිය සංචාරය වෙනුවෙන් යොදන ලද විධිවිධාන ගැන සතුට පළ කළ අතර, දෙරටෙහි අමාත්‍යවරු ද්විපාර්ශ්වික ආර්ථික සබඳතාව තවදුරටත් පුළුල් කර ගත හැකි ක්‍රම සහ විධි හඳුනා ගත්හ. ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සහ පශ්චාත් කොවිඩ් අභියෝගවලට මුහුණ දීම සඳහා තම රජයේ ප්‍රවේශය පිළිබඳව මුදල් අමාත්‍ය රාජපක්ෂ මහතා ඉන්දීය පාර්ශ්වයට ගැඹුරින් විස්තර කළේය. මෙම අවස්ථාවේදී සිය සහය ශ්‍රී ලංකාවට පළ කරන බව ඉන්දීය අමාත්‍යවරු ප්‍රකාශ කළහ. ඉන්දියාව සැමවිටම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින බවත් වත්මන් තත්ත්වය තුළ එහි "අසල්වැසි රාජ්‍යයට ප්‍රථම අවධානය" ප්‍රතිපත්තිය ඔස්සේ සහය දක්වන බවත් ඉන්දීය අමාත්‍යවරු යළිත් අවධාරණය කළහ.

මේ සම්බන්ධයෙන් කෙටි හා මධ්‍ය කාලීන සහයෝගීතාව පවත්වාගෙන යෑම සඳහා යෝජිත ව්‍යුහ හතරක් පිළිබඳව දෙපාර්ශ්වය සාකච්ඡා කළහ:

1) ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන ආහාර, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල වියදම් ආවරණය කිරීම සඳහා වූ ණය පහසුකමක් ලබා දෙන හදිසි ආහාර සහ සෞඛ්‍ය ආරක්ෂණ පැකේජයක්

2) ඉන්දියාවෙන් කෙරෙන ඉන්ධන ආනයන වියදම් ආවරණය කිරීම සඳහා වූ ණය පහසුකමක් සහ ත්‍රිකුණාමලය ඉන්ධන ගබඩා සංකීර්ණය කඩිනමින් නවීකරණය කිරීම ඇතුළත් බලශක්ති ආරක්ෂණ පැකේජයක්

3) වත්මන් ගෙවුම් ශේෂ ගැටලු විසැඳීමට ශ්‍රී ලංකාවට සහය වීම සඳහා වූ විනිමය හුවමාරුවක්

4) ආර්ථීක වර්ධනයට සහ රැකියා උත්පාදනයට දායක වන පරිදි ශ්‍රී ලංකාවේ විවිධ අංශවල ඉන්දියානු ආයෝජන සඳහා පහසුකම් සැලසීම. ආයෝජන සම්බන්ධ රාමුව මෑත කාලීන ප්‍රවණතා මත ගොඩනැගෙනු ඇත.

ඊට අමතරව මෙකී අරමුණු සාක්ෂාත් කර ගැනීමේ ක්‍රමවේද අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ ඉක්මන් කාල රාමුවක් තුළ අවසන් කිරීමට එකඟතාව පළ කෙරිණි. මෙම එකඟතා අනුව ක්‍රියා කිරීම අරමුණු කරගත් පුළුල් සම්බන්ධීකරණයක් ඇති කිරීම සඳහා සෘජු සන්නිවේදන මාර්ග ගොඩනඟා ගැනීමටත්, එකිනෙකා සමඟ සෘජු හා නිරන්තර සම්බන්ධකම් පැවැත්වීමටත් අමාත්‍ය රාජපක්ෂ, ඇමැතිනී සීතාරාමන් සහ අමාත්‍ය ජයශංකර් යන මහත්ම මහත්මීහූ එකඟ වූහ.

ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය

නවදිල්ලිය

2021 දෙසැම්බර් 07වැනිදා

Print Friendly, PDF & Email
Please follow and like us:

Close