මියන්මාරය හා ශ්‍රී ලංකාව අතර වන්දනාකරුවන්ට වට්ටම් සහිත සංචාරක පැකේජයක් හඳුන්වා දීමට යයි

මියන්මාරය හා ශ්‍රී ලංකාව අතර වන්දනාකරුවන්ට වට්ටම් සහිත සංචාරක පැකේජයක් හඳුන්වා දීමට යයි

ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර දීර්ඝ කාලීන ඓතිහාසික හා ආගමික සම්බන්ධතාවය පදනම් කර ගනිමින්,  වන්දනා සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා භාවිතයට නොගත් විශාල අවස්ථාවක් පවතින බව  ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් සමඟ ඉකුත් 04 වනදා මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය නලින් ද සිල්වා මහතා අන්තර්ජාලය හරහා පැවැත්වූ රැස්වීමකදී අනාවරණය වී තිබේ. දෙරටේ අදාළ බලධාරීන් සහ සංචාරක සංගම් අතර බිම් මට්ටමේ සාකච්ඡා සඳහා වේදිකාවක් සැකසීමේ අරමුණින් යුතුව, මියන්මාර සංචාරක කටයුතු අලෙවිකරණ සංගමය සමඟ පැවති සාකච්ඡාවල දිගුවක් ලෙස මෙම රැස්වීම පැවැත්විණි.

මියන්මාර සංචාරකයින් දිරිගැන්වීම සඳහා වට්ටම් සහිතව මහනුවර, තිරියාය, අනුරාධපුර, පොළොන්නරුව වැනි සැලකිය යුතු ආගමික ස්ථාන ද ඇතුළුව සකස් කළ සංචාරක පැකේජ හඳුන්වා දීමට තානාපතිවරයා යෝජනා කළේය. පශ්චාත් කොවිඩ් කාල පරිච්ඡේදයේ දී ශ්‍රී ලංකාවේ දී වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සඳහා මියන්මාරයේ ජාතික රූපවාහිනී නාලිකාවට ආරාධනා කිරීමට ද යෝජනා විය. තවද, මියන්මාර ජාතිකයන් ඉලක්ක කර ගනිමින්, දෙරට අතර ආගමික සම්බන්ධතාවය පිළිබඳ වීඩියෝවක් නිපදවීමට ද යෝජනා කරන ලදී.

දෙරට අතර සෘජු ගුවන් සම්බන්ධතාවය ඇති කිරීම කෙරෙහි සැලකිය යුතු අවධානයක් යොමු වූ අතර, පවතින විකල්පයන් පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කෙරිණ. මෙම රැස්වීමට ගුවන් හා අපනයන කලාප සංවර්ධන අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් එම්. දේවසුරේන්ද්‍ර මහතා, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් සහ යැන්ගොන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශකවරිය ද සහභාගී විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
යැන්ගොන්

2021 ජනවාරි 11 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close