මැලේසියානු විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට සංචාරය සාර්ථකව අවසන් කරයි

මැලේසියානු විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට සංචාරය සාර්ථකව අවසන් කරයි

මැලේසියාවේ විදේශ කටයුතු අමාත්‍ය දාතෝ සෙරී ඩිරාජා  ආචාර්ය සැම්බ්‍රි අබ්ඩ් කදීර් මැතිතුමා 2023 ඔක්තෝබර් 08 සිට 12 තෙක් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත විය.

මැලේසියානු විදේශ කටයුතු අමාත්‍යවරයා සිය සංචාරය අතරතුර, එනම්  2023 ඔක්තෝම්බර් 09 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී, සිය මිත්‍ර පාර්ශ්වය වන  ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා හමුවී දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් තහවුරු කිරීමට සහ වැඩිදියුණු කිරීමට දෙරට සතු කැපවීම නැවත තහවුරු කිරීම සඳහා දේශපාලන, වෙළඳ සහ ආයෝජන, ආරක්ෂක සහ සංචාරක කර්මාන්තය යන ක්ෂේත්‍රවලට අදාළව අන්‍යෝන්‍ය උනන්දුව සහිත පුළුල් පරාසයක කරුණු පිළිබඳව නිල සාකච්ඡා පැවැත්වී ය. මෙම සාකච්ඡාව අතරතුර, වෙළඳ සහ ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා දෙරට අතර යෝජිත නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව සහ කලාපීය ආර්ථික හවුල්කාරිත්ව (RCEP) ගිවිසුම සමඟ සම්බන්ධ වීම සඳහා ශ්‍රී ලංකාව යොමු කළ ඉල්ලීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලදී.

2023 ඔක්තෝම්බර් 09 වැනි දින ශැන්ග්‍රි- ලා හෝටලයේ දී ලංකා වාණිජ මණ්ඩලය යටතේ ශ්‍රී ලංකා - මැලේසියානු ව්‍යාපාරික කවුන්සිලය විසින් සංවිධානය කරන ලද ''ප්‍රධාන විධායක නිලධාරී ව්‍යාපාරික සංසදය'' සඳහා විදේශ කටයුතු අමාත්‍යවරුන් දෙදෙනාම සහභාගී වූ අතර, එහිදී ඔවුහු ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආයෝජන අවස්ථා වැඩිදියුණු කිරීම සඳහා පවතින ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳව රැස්ව සිටි පිරිස ඇමතූ හ.

මැලේසියානු විදේශ කටයුතු අමාත්‍යවරයා කොළඹ රැඳී සිටින අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ද හමුවිය.

මැලේසියානු විදේශ කටයුතු අමාත්‍යවරයා සිය ද්විපාර්ශ්වික සංචාරයෙන් පසුව, එනම් 2023 ඔක්තෝබර් 11 වැනි දින කොළඹ  පැවති ඉන්දියානු සාගර රටවල වටද්දර සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩලයේ 23 වැනි රැස්වීමට ද සහභාගී විය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 ඔක්තෝබර් 16 වැනි දින

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close