මාලදිවයින සඳහා පත් කරන ලද ශ්‍රී ලංකා  මහ කොමසාරිස්වරයා ජනාධිපති සෝලි මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

මාලදිවයින සඳහා පත් කරන ලද ශ්‍රී ලංකා  මහ කොමසාරිස්වරයා ජනාධිපති සෝලි මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

මාලදිවයින සඳහා නම් කළ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඒ. එම්. ජේ.සාදික් මැතිතුමා, මාලේ හි පිහිටි ජනාධිපති කාර්යාලයේ දී මාලදිවයින් ජනරජයේ ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මැතිතුමා වෙත 2022 පෙබරවාරි 01 දින සිය අක්තපත්‍ර ලිපිය සහ සිය පූර්වගාමියාගේ නැවත කැඳවීමේ ලිපිය පිළිගැන්වීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උණුසුම් සුබපැතුම් ජනාධිපති සෝලි මැතිතුමා වෙත පිරිනැමූ මහ කොමසාරිස්වරයා, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජනතාවගේ අන්‍යෝන්‍ය ප්‍රයෝජනය සඳහා දෙරට අතර පවත්නා සමීප සහ සුහද ද්විපාර්ශ්වික සබඳතා සිය ධුර කාලය තුළ ශක්තිමත් සහ බහුවිධ හවුල්කාරිත්වයක් බවට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් තමන් තුළ ඇති දැඩි කැමැත්ත පළ කළේය. විශේෂයෙන්ම අධ්‍යාපනය, සෞඛ්‍ය, මෙන්ම ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ආයෝජන යන ක්ෂේත්‍ර ආවරණය කරමින් ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවීමේ වැදගත්කම ද මහ කොමසාරිස්වරයා විසින් අවධාරණය කරන ලදි. මීට උණුසුම් ප්‍රතිචාර දැක්වූ ජනාධිපති සෝලි මැතිතුමා මාලදිවයින තුළ සාර්ථක ධුර කාලයක් ගත කිරීම සඳහා මහ කොමසාරිස්වරයා වෙත සුබපැතුම් පළ කළේ ය.පෙබරවාරි 4 වැනි දිනට යෙදෙන ශ්‍රී ලංකාවේ 74 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති සෝලි මැතිතුමා ශ්‍රී ලංකාවේ රජය සහ ජනතාව වෙත සිය සුබපැතුම් පිරිනැමීය. තවද, දෙරට අතර පවත්නා සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමඟ සාකච්ඡා පවත්වමින්, 2021 වසරේ නොවැම්බර් මස ශ්‍රී ලංකාව තුළ තමන් සිදු කළ සාර්ථක සංචාරය පිළිබඳ සුවිශේෂී මතකයන් ද එතුමා මෙහිදී  සිහිපත් කළේ ය.

අක්තපත්‍ර පිළිගැන්වූ මහ කොමසාරිස් සාදික් මැතිතුමා, ඉන් අනතුරුව මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් මැතිතුමා හමු විය.අභිනව මහ කොමසාරිස්වරයා වෙත සුබපැතුම් පළ කළ විදේශ අමාත්‍යවරයා, මාලදිවයින තුළ සාර්ථක ධුර කාලයක් ගත කිරීම සඳහා එතුමාට ආසිරි පැතී ය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසිවාරයේ සභාපතිවරයා ලෙස තමන් පත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ලබාදුන් සහයෝගය වෙනුවෙන් ද එතුමා සිය ස්තුතිය පළ කළේය.ජනාධිපති සෝලි මැතිතුමාගේ අදහස් පිළිඹිබු කළ විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවත්නා උණුසුම් සහ මිත්‍රශීලී සබඳතා නවමු තලයකට ගෙන යාම සඳහාදෙරටටම එකම පවුලක් ලෙස සමීපව කටයුතු කළ හැකි බව සඳහන් කළේ ය.

එදිනම, මාලදිවයිනේ විදේශ ලේකම් අබ්දුල් ගෆූර් මොහොමඩ් මහතා හමුවූ මහ කොමසාරිස් සාදික් මැතිතුමා විශේෂයෙන්ම රාජ්‍ය සහ පුද්ගලික හවුල්කාරිත්වය අරභයා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රාජ්‍ය සහ පුද්ගලික සමාගම් සම්බන්ධ කරගනිමින් ආර්ථික සහයෝගීතාව අරමුණු කරගත් ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීමේ ක්‍රම සහ විධි පිළිබඳව සාකච්ඡා කළේ ය. ද්විත්ත්ව බදු පැනවීම වැළැක්වීම, ආයෝජන ප්‍රවර්ධනය, අන්‍යෝන්‍ය ආරක්‍ෂාව හා ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර රේගු කටයුතු සම්බන්ධයෙන් සහයෝගීතාවය සහ අන්‍යෝන්‍ය සහය ලබා දීම සම්බන්ධයෙන් පවත්නා ගිවිසුම්/අවබෝධතා ගිවිසුම් නිමා කිරීමේ කටයුතු කඩිනම් කිරීමට ද ඔවුහු සිය එකඟත්වය පළ කළහ.

මහ කොමසාරිස් සාදික් මැතිතුමා ශ්‍රී ලංකා විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන අතර රාජ්‍ය හා පුද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ වසර 35කට වැඩි පළපුරුද්දක් එතුමා සතු ය. පුද්ගලික බැංකු ක්ෂේත්‍රයේ විධායක නිලධාරියෙකු වශයෙන් පළමුව වසර 2 ½ ක් සේවය කළ එතුමා, යුරෝපය, දකුණු ඇමරිකාව, මැදපෙරදිග සහ දකුණු ආසියාව පුරා ලබාගත් බහුවිධ අත්දැකීම් සහිතව ශ්‍රී ලංකා විදේශ සේවය වසර 33ක සේවා කාලයකට හිමිකම් කිමයි.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය හැදෑරූ මහ කොමසාරිස් සාදික් මැතිතුමා, කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් ලබා ගත්තේ ය. ලී ක්වාන් යූ ශිෂ්‍යත්වය හිමි කරගත් සාදික් මැතිතුමා, කීර්තිමත් හාවඩ් විශ්වවිද්‍යාලයෙන් සහ සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර, එහිදී රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති (MPM) උපාධියක් ද හිමි කර ගත්තේ ය. එතුමා සතුව වෘත්තීය ගණකාධිකරණය සහ බැංකුකරණයට අදාළ සුදුසුකම් ද පවතී.

සෞදි අරාබිය (2005-2007), බ්‍රසීලය (2009-2011) සහ නෙදර්ලන්තය (2015-2019) යන රටවල ශ්‍රී ලංකා තානාපතිවරයාවශයෙන් සාදික් මැතිතුමා සිය රාජ්‍යතාන්ත්‍රික දිවිය තුළ තෙවරක් සේවය කොට ඇත.

මාලදිවයින සඳහා ශ්‍රී ලංකා නියෝජිතයා වශයෙන් වත්මන් ධුරයේ පිහිටුවීමට ප්‍රථම, සාදික් මැතිතුමා 2019 වසරේ ජූලි මස සිට විදේශ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා වශයෙන් කටයුතු කළේ ය. අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨතම අතිරේක ලේකම්වරයා වන එතුමා, විදේශ ලේකම්වරයා රටින් බැහැරව සිටි කාලය තුළ, එනම් 2015 සහ 2021 යන වසරවල විදේශ අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම්වරයා ලෙස ද කටයුතු කළේ ය.

2019 වසරේ ඔක්තෝබර් මස ඉස්ලාමාබාද් හි පැවති සාර්ක් බේරුම්කරණ කවුන්සිලයේ (SARCO) පාලක මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් සාදික් මැතිතුමා වසර දෙකක ධුර කාලයක් සඳහා පත් කරන ලදි. ශ්‍රී ලංකාවේ ජාතික IHL කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ එතුමා, 2019 වසරේ අගෝස්තු මස සිට 2021 වසරේ දෙසැම්බර් මස දක්වා නැවත පැමිණීම් පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

මාලේ

2022 පෙබරවාරි 03 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close