මානව හිමිකම් කවුන්සිලයේ 44 වන සැසිය අයිතමය 7: අල්ලා ගෙන සිටින පලස්තීන භූමිය පිළිබඳව විශේෂ වාර්තාකරු සමඟ අන්තර් ක්‍රියාකාරී සංවාදය 2020 ජූලි 16 වැනි දින

මානව හිමිකම් කවුන්සිලයේ 44 වන සැසිය අයිතමය 7: අල්ලා ගෙන සිටින පලස්තීන භූමිය පිළිබඳව විශේෂ වාර්තාකරු සමඟ අන්තර් ක්‍රියාකාරී සංවාදය 2020 ජූලි 16 වැනි දින

Picture

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රකාශය

මානව හිමිකම් කවුන්සිලයේ 44 වන සැසිය

අයිතමය 7: අල්ලා ගෙන සිටින පලස්තීන භූමිය පිළිබඳව විශේෂ වාර්තාකරු සමඟ අන්තර් ක්‍රියාකාරී සංවාදය

2020 ජූලි 16 වැනි දින

සභාපතිතුමියනි,

1967 වසරේ සිට අල්ලා ගෙන සිටින පලස්තීන භූමියේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ විශේෂ වාර්තාකරු මයිකල් ලින්ක් මහතා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව කෙරෙහි ශ්‍රී ලංකාවේ අවධානය යොමු වේ.

නොබැඳි ව්‍යාපාරය වෙනුවෙන් අසර්බයිජානය විසින් කරන ලද ප්‍රකාශය සමඟ ශ්‍රී ලංකාව හවුල් වෙයි.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය, අදාළ සම්මුතීන් මෙන්ම ආරක්ෂක මණ්ඩල හා මහා මණ්ඩල යෝජනාවලීන් ඇතුළු ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් වන ඊශ්‍රායලය විසින් සැලසුම් කර ඇති භූමිය ඈඳා ගැනීම සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා, මානව හිමිකම් මහ කොමසාරිස්වරිය, ඊශ්‍රායල පරිචයන් විමර්ශනය කිරීමේ එක්සත් ජාතීන්ගේ විශේෂ කමිටුව සහ විශේෂ වාර්තාකරු විසින් මතු කරන ලද කරුණු පිළිබඳව අපගේ අවධානය යොමු වේ.

තවද, මෙම ඈඳා ගැනීමේ සැලැස්ම, අල්ලා ගෙන සිටින බටහිර ඉවුරේ හා ජෝර්දාන් මිටියාවතේ වෙසෙන පලස්තීන ජාතිකයන්ගේ මානව හිමිකම් කෙරෙහි අහිතකර ලෙස බලපානු ඇති අතර, පලස්තීන ජාතිකයන් දහස් ගණනක් බලහත්කාරයෙන් අවතැන්වීමට තුඩු දෙනු ඇතැයි විශේෂ වාර්තාකරු විසින් මතු කරන ලද සැළකිල්ලට භාජනය විය යුතු කරුණු  කෙරෙහි අපි අවධානය යොමු කරමු.

සභාපතිතුමියනි,

පලස්තීනයේ ජනතාවට සිය රාජ්‍යත්වයට සහ ඔවුන්ගේ භූමියේ ඇති ස්වාභාවික සම්පත්වලට ඇති නීත්‍යානුකූල හා අහිමිකළ නොහැකි අයිතිය පිළිබඳ ප්‍රතිපත්තිමය ස්ථාවරයෙහි ශ්‍රී ලංකාව අඛණ්ඩව හා ස්ථිරව පිහිටා සිටී.

පලස්තීන සහ ඊශ්‍රායල් ජනයාගේ නීත්‍යානුකූල හා සංවේදී ආරක්ෂක අවශ්‍යතා හඳුනා ගන්නා අතරම, මෙම යෝජිත ඈඳා ගැනීමේ සැලැස්ම මඟින්, මෙම අර්බුදය තවදුරටත් වැඩිදියුණු කිරීමට සහ පලස්තීන සහ ඊශ්‍රායල් ජනතාවගේ තිරසාර සාමය උදෙසා සත්‍ය ප්‍රගතියක් කිරීම පිළිබඳ සැබෑ අපේක්ෂාවන් අඩපණ කිරීමට දායකවීමක් පමණක් සිදුවනු ඇති බව ශ්‍රී ලංකාවේ අදහසයි.

ඉහත සන්දර්භය තුළ, ජාත්‍යන්තර නීතියට අනුකූල වන ලෙසත්, සැලසුම්ගත භූමිය  ඈඳා ගැනීම අත්හරින ලෙසත්, සාමය සඳහා වන සංවාදය දිගටම කරගෙන යන ලෙසත්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක්ව, සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

අවසාන වශයෙන්,

පලස්තීන ජනතාවට සිය රාජ්‍යත්වය සඳහා ඇති අහිමිකළ නොහැකි අයිතිවාසිකම් සහ 1967 දී පැවති දේශසීමාවල පදනම මත රාජ්‍ය-දෙකක විසඳුමක් ලබා ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනා ඉක්මනින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ශ්‍රී ලංකාව යළිත් අවධාරණය කරයි.

ස්තුතියි.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close