මානව හිමිකම් කවුන්සිලයේ අන්තර් ක්‍රියාකාරී සංවාදයේ දී ශ්‍රී ලංකාවට අතිමහත් සහයෝගයක් ලැබෙයි

මානව හිමිකම් කවුන්සිලයේ අන්තර් ක්‍රියාකාරී සංවාදයේ දී ශ්‍රී ලංකාවට අතිමහත් සහයෝගයක් ලැබෙයි

2022 මාර්තු 7 වැනි දින අවසන් වූ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකාව පිළිබඳ ලිඛිත යාවත්කාලීන කිරීම පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයේ දී ප්‍රතිසන්ධානය සඳහා රජයේ සැලකිය යුතු ප්‍රයත්නයන්ට සහයෝගය පළ කළ අතර බහුපාර්ශ්වික කටයුතු සඳහා මූලික පදනම ලෙස වෛෂයික සහ නිර්මාණාත්මක සහයෝගිතාවයේ වැදගත්කම නැවත අවධාරණය කළ ගෝලීය දකුණේ රටවලින් ශ්‍රී ලංකාවට අතිමහත් සහයෝගයක් ලැබුණි.

මෙම අන්තර් ක්‍රියාකාරී සංවාදයේ දී අදහස් දැක්වූ රටවල් 45 න් 31 ක් ශ්‍රී ලංකාවට සහාය පළ කළහ. දකුණු, අග්නිදිග සහ මධ්‍යම ආසියාවේ සහ අප්‍රිකානු සමූහයේ පුළුල් පරාසයක රාජ්‍යවලින් ශ්‍රී ලංකාවට හරස් කලාපීය සහය ලැබුණි. සෞදි අරාබිය, ඊජිප්තුව, පිලිපීනය, නේපාලය, කෙන්යාව, ඉතියෝපියාව, මාලදිවයින, චීනය, කියුබාව, ජපානය, සිරියානු අරාබි ජනරජය, වියට්නාමය, කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාණ්ඩුව, වෙනිසියුලාව, නයිජීරියාව, පාකිස්ථානය, කාම්බෝජය, රුසියානු සමූහාණ්ඩුව, ලෙබනනය, උගන්ඩාව, බෙලරුස්, සිම්බාබ්වේ, එරිත්‍රියාව, දකුණු සුඩානය, ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, යේමනය, ඉරානය, නයිජර්, කසකස්තානය, බංග්ලාදේශය සහ අසර්බයිජානය ශ්‍රී ලංකාවට පක්ෂව කතා කළ රටවල් 31 වෙයි.

කොවිඩ්-19 වසංගතය ආශ්‍රිත අභියෝග පැවතිය ද, ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ ඇතුළු ජාතික ක්‍රියාදාමයන් හරහා සංහිඳියාව සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීම සහ මේ සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය ගෝලීය දකුණේ රාජ්‍යයන්ගේ මැදිහත්වීම් මගින් පැසසුමට ලක් විය. මානව හිමිකම් කවුන්සිලයේ සහ ජාත්‍යන්තර ප්‍රජාව ස්වේච්ඡා ජාතික ක්‍රියාවලීන්ට සහය දීමේ වැදගත්කම මෙන්ම අපක්ෂපාතීත්වය, තෝරා නොගැනීම සහ දේශපාලනීකරණය නොකිරීම යන මූලික මූලධර්ම ආරක්ෂා කිරීමේ වැදගත්කම ද ඔවුහු අවධාරණය කළහ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) සිකුරාදා (2022 මාර්තු 4 වැනි දින) පැවති අන්තර් ක්‍රියාකාරී සංවාදය ආරම්භයේ දී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා මානව හිමිකම් පිළිබඳ ස්වේච්ඡා ජාත්‍යන්තර වගකීම් අඛණ්ඩව පවත්වාගෙන යාම සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සම්බන්ධ වීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම පිළිබඳව නැවත අවධාරණය කරමින්, මහ කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කරන ලද යාවත්කාලීනයේ පැවති බරපතල විෂමතා සහ දුර්වලතා පිළිබඳව සඳහන් කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 මාර්තු 08 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close