මහ කොමසාරිස් හර්ෂ කුමාර නවරත්න මැතිතුමා කැනඩාවේ ආණ්ඩුකාර ජනරාල්වරිය වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

මහ කොමසාරිස් හර්ෂ කුමාර නවරත්න මැතිතුමා කැනඩාවේ ආණ්ඩුකාර ජනරාල්වරිය වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

2021 දෙසැම්බර් 7 වැනි දින ඔටාවා හි රිඩෝ ශාලාවේ පැවති උත්සවයක දී කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් හර්ෂ කුමාර නවරත්න මැතිතුමා කැනඩාවේ ආණ්ඩුකාර ජනරාල්වරිය වන මේරි මේ සයිමන් මැතිනිය වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වීය. ශ්‍රී ලංකාව, ස්පාඤ්ඤය, ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කළ නියෝජිතයන් සිව් දෙනෙකුගේ අක්තපත්‍ර පිළිගැන්වීම සනිටුහන් කරමින් පැවති මෙම උත්සවය සඳහා කැනඩාවේ විදේශ කටයුතු, වෙළඳ හා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිසක් සහභාගී වූහ.

උත්සව ප්‍රධානියාගේ පිළිගැනීමේ දේශනයෙන් අනතුරුව කැනඩාවේ සන්ධාන කටයුතු ප්‍රධානී ස්ටුවර්ට් වීලර් මහතා නියෝජිතයන් සිව් දෙනා හඳුන්වා දුන්නේය. එම හැඳින්වීමෙන් අනතුරුව අක්තපත්‍ර පිළිගැන්වීම සිදුකෙරිණි.

පිළිගැනීමේ දේශනය සිදු කළ ආණ්ඩුකාර ජනරාල්වරිය මෙම රටවල් හතර සහ කැනඩාව අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව විස්තර කළා ය. ශ්‍රී ලංකාව පිළිබඳව සඳහන් කළ ජනරාල්වරිය ශක්තිමත් පුද්ගලාන්තර සබඳතා, කැනඩාව කෙන්ද්‍රකොට ගත්  ශ්‍රී ලාංකික ඩයස්පෝරාව දෙරට අතර පවත්නා ඒකාබද්ධ ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධන වැඩසටහන් ආදිය පිළිබඳව සිය අදහස් පළ කළාය.

අක්තපත්‍ර පිළිගැන්වීමෙන් අනතුරුව ආණ්ඩුකාර ජනරාල්වරිය සමඟ පැවති හමුවක් අතරතුර දී මහ කොමසාරිස් නවරත්න මැතිතුමා ශ්‍රී ලංකාවේ මෑත කාලීන ප්‍රගතීන් පිළිබඳව ආණ්ඩුකාර ජනරාල්වරිය දැනුම්වත් කළේය. ප්‍රතිසන්ධාන කටයුතු යළි පණගැන්වීම, ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර වෙළෙඳ හා ආයෝජන සබඳතා වර්ධනය කිරීම සහ වැඩිදියුණු කිරීම සහ ශ්‍රී ලංකාව තුළ කැනේඩියානු සංචාරක ව්‍යාපාරය සහ ආයෝජන දිරිගැන්වීම යනාදිය කැනඩාව තුළ තම ප්‍රමුඛතාවලට ඇතුළත් වන බව සඳහන් කළේය.

මහ කොමසාරිස් නවරත්න මැතිතුමා කැනඩාවේ ශ්‍රී ලංකා නියෝජිතයා වශයෙන් පත්වීමට පෙර රටවල් 40කට අධික සංඛ්‍යාවක් තුළ ව්‍යාප්තව සිටින සමාජීය වශයෙන් සේවයේ නිරත බෞද්ධාගමික ක්‍රියාකරුවන් සහ සංවිධාන ජාලයකට සහය වන එක්ව ක්‍රියා කිරීම සඳහා අන්තර් ආගමික සංවිධාන එකම වේදිකාවකට ගෙන එන මුලපිරීම් ද්විත්ත්වයක් දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාව තුළ මෙහෙයවනු ලබන බැංකොක් නුවර සිය මූලස්ථානය කරගත් සංවිධානයක් වන ‘ක්‍රියාකාරී බෞද්ධයන්ගේ ජාත්‍යන්තර ජාලය’ (International Network of Engaged Buddhists) නමැති සංවිධානයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේය. මෙම මුලපිරීම්වල පසු විපරමක් වශයෙන් බෞද්ධ-මුස්ලිම් සංවාදය නමින් වැඩපිළිවෙළක් ද මැලේසියාව සහ ඉන්දුනීසියාව තුළ පිහිටුවන ලදි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු වශයෙන් ද කටයුතු කළ මෙතුමා තිරසාර කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, ව්‍යවසාය සංවර්ධනය,ක්ෂුද්‍ර මූල්‍ය, පරිසර සංරක්ෂණය, මනෝ සමාජීය සහයෝගය, සාමය හා සංහිඳියාව යනාදිය සම්බන්ධයෙන් ග්‍රාමීය මට්ටමේ සේවා සපයන ප්‍රජා මූලික සංවිධානයක් වන සේවාලංකා පදනමේ නිර්මාතෘවරයා වූ අතර එහි සභාපතිවරයා වශයෙන් ද සේවය කළේය.

විවාහකයෙකු වන එතුමා දියණියන් තිදෙනෙකුගේ පියෙකි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ඔටාවා

2021 දෙසැම්බර් 13 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close