මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ඉන්දියාව සමඟ පුළුල් ආරක්ෂක සහයෝගීතාවක් අපේක්ෂා කරයි

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ඉන්දියාව සමඟ පුළුල් ආරක්ෂක සහයෝගීතාවක් අපේක්ෂා කරයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං මැතිතුමා සමඟ නොවැම්බර් 30 දින නවදිල්ලි නුවර දී පැවැත්වූ සාකච්ඡාවක දී ඉන්දියාව සමඟ පවත්නා ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ මාර්ග පිළිබඳව ගවේෂණය කළේය. මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු තුෂාර කරුණාතුංග (නා.හ) මහතා ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

ශ්‍රී ලංකා වෙරළ තීරයට ඔබ්බෙන් ගමන් කළ එම්. ටී. නිව් ඩයමන්ඩ් (MT New Diamond) සහ එම්. වී. එක්ස්ප්‍රස් පර්ල්(MV Express Pearl) යන නෞකාවල හටගත් විනාශකාරී ගින්න පාලනය කිරීම සඳහා ලැබුණු සහය පිළිබඳව විශේෂාකාරයෙන් සඳහන් කළ මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා වසර ගණනාවක් මුළුල්ලේ බොහෝ ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාව වෙත ඉන්දියානු ආරක්ෂක සේවය ලබා දෙන සහයෝගය වෙනුවෙන් අමාත්‍ය සිං මැතිතුමාට සිය ස්තුතිය පළ කළේය. නෞකාව තුළ හටගත් ගින්න කාලෝචිත හා කාර්යක්ෂම ලෙස  පාලනය නොකළේ නම් කලාපය තුළ විනාශකාරී සමුද්‍ර දූෂණයක් ඇති වීමට ඉඩ තිබිණි.

ශ්‍රී ලංකා හමුදාවේ ශිෂ්‍යයන්ට පුහුණු අවස්ථා ලබා දීම පිළිබඳව අමාත්‍ය සිං මැතිතුමා වෙත සිය ස්තුතිය පළ කළ මහ කොමසාරිස්වරයා ඕනෑම අවස්ථාවක දී ඉන්දියාව තුළ ශ්‍රී ලාංකික හමුදා භටයන් 700ක් පමණ පුහුණුවීම්වල නිරතව සිටින බව ද ප්‍රකාශ කළේය. 2020 වර්ෂයේ දී පනවන ලද සංචරණ සීමා ක්‍රියාත්මක වූ  මුල් මාස කිහිපය තුළ  ශ්‍රී ලාංකික හමුදා ශිෂ්‍යයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඉන්දියාවේ ආරක්ෂක සේවය සහය ලබා දුන් ආකාරය සිහිපත් කළ මහ කොමසාරිස්වරයා  ඊට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා වෙත සිය ස්තුතිය පළ කළේය. ආරක්‍ෂක අංශය තුළ ඉන්දියානු පුහුණුවීම් ලබන විශාලතම සහ ඒකල ග්‍රාහකයා වන්නේ ශ්‍රී ලංකාව යි. ශ්‍රී ලංකා හමුදාවේ ශිෂ්‍යයන්ට ඉන්දියාව තුළ වැඩිදුර පුහුණුවීම් අවස්ථා ලබාදීමේ හැකියාව පිළිබඳව සොයා බලන ලෙස ද මහ කොමසාරිස්වරයා මෙහිදී යෝජනා කළේය.

වෛද්‍ය සැපයුම් සහිත ගුවන් යානා එවීම, INS ශක්ති නෞකාව මගින් වෛද්‍ය ප්‍රමිතියෙන් යුත් අත්‍යවශ්‍ය ඔක්සිජන් ප්‍රවාහනය කිරීම,  SLNS ශක්ති නෞකාව වෙතින් එවැනිම ඔක්සිජන් ප්‍රවාහනය කිරීම සහ ඉන්දියානු ගුවන් හමුදාවේ ගුවන් යානයක් මගින් හදිසි අත්‍යවශ්‍යතාවක් හේතුවෙන් අවශ්‍ය වූ  නැනෝ- නයිට්‍රජන් තොගයක් මෙරටට ගෙන්වීම සඳහා ලබා දුන් සහයෝගය වෙනුවෙන් මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ආරක්ෂක අමාත්‍යවරයා අගය කළේය. තවද මෙම තත්ත්වය හමුවේ මහා පරිමාණයේ ඔක්සිජන් උත්පාදක යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඉන්දියානු නාවික හමුදාව ද එතුමාගේ ඇගයීමට ලක් විය.

වාර්ෂිකව පැවැත්වෙන ද්විපාර්ශ්වික හමුදා සහ නාවික ඒකාබද්ධ අභ්‍යාස කෙරෙහි ද මහ කොමසාරිස්වරයාගේ සහ අමාත්‍යවරයාගේ අවධානය යොමු විය. තවද කොළඹ ආරක්‍ෂක සමුළුව විසින් පසුගිය වසරක කාලය මුළුල්ලේ අත්කර ගෙන ඇති අතිවිශාල ප්‍රගතිය පිළිබඳව ද ඔවුහු සෑහීමකට පත් වූහ.

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා සිය ප්‍රතිපත්ති මාර්ග සිතියම වන "ඉන්දියාවේ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සඳහා වන ඒකාබද්ධ රාජ්‍ය උපායමාර්ගය 2021/2023" නමැති මාර්ගෝපදේශයේ පිටපතක් ද අමාත්‍ය සිං මැතිතුමා වෙත පිරිනැමී ය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නවදිල්ලිය

2021 දෙසැම්බර් 03 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close