මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා සහ සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දියානු කවුන්සිලයේ සභාපතිවරයා ද්විපාර්ශ්වික සංස්කෘතික සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා පවත්වයි

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා සහ සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දියානු කවුන්සිලයේ සභාපතිවරයා ද්විපාර්ශ්වික සංස්කෘතික සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා පවත්වයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවත්නා සංස්කෘතික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ ක්‍රම සහ විධි පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා බදාදා (10) දින සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දියානු කවුන්සිලයේ (ICCR) සභාපති ආචාර්ය විනේ සහශ්‍රබුද්ධ මහතා හමුවිය. මෙම හමුව සඳහා ICCR හි අධ්‍යක්ෂ ජනරාල්වරයා වන තානාපති දිනේෂ් කේ. පට්නායික් මැතිතුමා ද සහභාගී විය.

1950 වසරේ දී ආරම්භ කරන ලද ICCR සංවිධානය  ඉන්දියානු රජයේ ස්වාධීන සංවිධානයක් වන අතර එය අනෙකුත් රටවල් සහ ඔවුන්ගේ ජනතාව සමඟ සංස්කෘතික හුවමාරු සිදු කිරීම සඳහා පහසුකම් සලසමින්  ඉන්දියාවේ බාහිර සංස්කෘතික සබඳතාවලට සම්බන්ධ වී කටයුතු කරයි. ශ්‍රී ලාංකික සිසුන් විශාල සංඛ්‍යාවක් සිය විවිධ අධ්‍යයන ක්ෂේත්‍ර සඳහා වසර ගණනාවක් මුළුල්ලේ ICCR ශිෂ්‍යත්වවලින් ප්‍රතිලාභ ලබා ඇත. ඉන්දියාව තුළ ප්‍රථම උපාධි හා පශ්චාද් උපාධි අධ්‍යයන කටයුතු සිදු කිරීම සඳහා ICCR විසින් ශ්‍රී ලංකාව වෙත වාර්ෂිකව ශිෂ්‍යත්ව 200 ක් පමණ පිරිනමනු ලැබේ.

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා සහ ICCR හි සභාපති ආචාර්ය සහශ්‍රබුද්ධ මහතා අතර පැවති සාකච්ඡාවේ දී ICCR වෙතින් ශ්‍රී ලංකාවට ලබා දෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව ඉහළ නැංවීම, ඉන්දියාව පුරා පිහිටි බෞද්ධ ස්ථාන පිළිබඳ සවිස්තරාත්මක ප්‍රකාශනයක් සම්පාදනය කිරීම සහ රබීන්ද්‍රනාත් තාගෝර් කිවියාගේ ප්‍රථම ශ්‍රී ලංකා සංචාරයේ සියවස් සැමරුම ලබන වසරේ දී ඒකාබද්ධව සැමරීම ආදී කරුණු කෙරෙහි අවධානය යොමු කෙරිණි. තවද ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතනවල හින්දි සහ සංස්කෘත භාෂා ශක්‍යතා ඉහළ නැංවීමට සහාය දෙන ලෙස ද මහ කොමසාරිස්වරයා ICCR හි සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා සිය ප්‍රතිපත්ති මාර්ග සිතියම වන "ඉන්දියාවේ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සඳහා වන ඒකාබද්ධ රාජ්‍ය උපායමාර්ගය 2021/2023" මාර්ගෝපදේශයේ පිටපතක් සහ අනගාරික ධර්මපාලතුමා විසින් රචිත, හසරා දසුනි හිරිමුතුගොඩ මහත්මිය විසින් හින්දි භාෂාවට පරිවර්තනය කරන ලද " බුද්ධගයාවේ මහාබෝධි විහාරයේ ඉතිහාසය" නමැති පොත්පිංචේ පිටපතක් ද ICCR හි සභාපතිවරයා වෙත පිරිනැමීය. මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය (පරිපාලන) උපුල් පුෂ්පකුමාර මහතා ද මහ කොමසාරිස්වරයා සමඟ මෙම හමුවට සහභාගී විය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නවදිල්ලිය

2021 නොවැම්බර් 15 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close