මහනුවර සහ ච්‍යුයින්තාඕ අතර සහෝදරත්ව නගර සබඳතා ඇති කර ගැනීම සඳහා වන අභිප්‍රාය ලිපියකට අත්සන් තබයි

මහනුවර සහ ච්‍යුයින්තාඕ අතර සහෝදරත්ව නගර සබඳතා ඇති කර ගැනීම සඳහා වන අභිප්‍රාය ලිපියකට අත්සන් තබයි

චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා  ච්‍යුයින්තාඕ සහ මහනුවර නගර දෙක අතර මිත්‍රශීලී සහ සහයෝගී සබඳතා ඇති කර ගැනීම සඳහා වන අභිප්‍රාය ලිපියකට අත්සන් තැබීම දැක බලා ගැනීම සඳහා 2021 නොවැම්බර් 15 වන දින ච්‍යුයින්තාඕ නගරය වෙත පැමිණියේය. වීඩියෝ  හරහා අත්සන් තැබුණු අතර ච්‍යුයින්තාඕ හි නගරාධිපති ජාඕ හාඕ ෂිබින් මැතිතුමන් සහ මහනුවර නගරාධිපති කේසර සේනානායක මැතිතුමා විසින් මෙසේ අත්සන් තබනු ලැබීය.

ප්‍රථමයෙන් ච්‍යුයින්තාඕ හි නගරාධිපති ජාඕ මැතිතුමා විසින් තානාපති කොහොන මැතිතුමා සහ එතුමාගේ දූත පිරිස උණුසුම් ලෙස පිළිගත් අතර ච්‍යුයින්තාඕ නගරය පිළිබඳ දළ වශයෙන් විස්තර කළේය. 2021 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ච්‍යුයින්තාඕ හි දළ දේශීය නිෂ්පාදිතය 7.1% කින් වර්ධනය වූ බවත් එය මේ වසරේ යුවාන් බිලියන 800 ක සම්පූර්ණ ආනයන හා අපනයන ධාරිතාවක් අත් කර ගැනීමට අපේක්ෂා කරන බවත් නගරාධිපති ජාඕ මැතිතුමා පැවසීය. ච්‍යුයින්තාඕ හි ප්‍රමුඛ කර්මාන්ත ලෙස ගෘහ උපකරණ සහ ඉලෙක්ට්‍රොනික තොරතුරු පද්ධති දැක්වේ. එමෙන් ම මැග්ලෙව් දුම්රිය ඉදිකරන ලද්දේ ච්‍යුයින්තාඕ නගරයේදීය. ඉහළ මට්ටමේ යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය සහ සමුද්‍රීය ආර්ථිකයේ සංවර්ධන වේගය ගත් කළ මෙම නගරය  ඉතා සතුටුදායක මට්ටමක පැවතුණි.

ච්‍යුයින්තාඕ නගරය ශ්‍රී ලංකාව සමඟ ආර්ථික, වෙළඳ සහ සංස්කෘතික සංචාරක ක්ෂේත්‍රවල ගනුදෙනු ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවත් 2020 දී ච්‍යුන්තාඕ සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ පරිමාව ඇමරිකානු ඩොලර් මිලියන 100 ක් පමණ වූ බවත් ච්‍යුයින්තාඕ නගරාධිපතිතුමා පැවසීය. ඉදිරියේදී දෙපාර්ශවය අතර ගනුදෙනු තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ද එතුමා ප්‍රකාශ කළේය.

තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා ශ්‍රී ලංකාව - විශේෂයෙන්ම මහනුවර නගරය පිළිබඳව නගරාධිපති ජාඕ මැතිතුමාට හඳුන්වා දුන් අතර ඉදිරියේදී දෙපාර්ශවය අතර වැඩිදියුණු වූ ගනුදෙනු සහ සහයෝගීතාව තුළින් දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේය.

චීන කොමියුනිස්ට් පක්ෂ ච්‍යුයින්තාඕ නාගරික කමිටුවේ නියෝජ්‍ය ලේකම්වරයා, ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්හොන්ග් මැතිතුමා, මහනුවර නගරාධිපති කේසර ඩී. සේනානායක යන මහත්වරු මෙහිදී දේශන පැවැත්වූහ. ච්‍යුයින්තාඕ නාගරික පක්ෂ කමිටුවේ ස්ථාවර කාරක මණ්ඩලයේ සාමාජික මෙන් ම උප නගරාධිපති වන ෂුවේ චින්ග්වෝ මැතිතුමා මෙම අවස්ථාවේ මුලසුන දැරීය.

මෙහිදී අදහස් දැක්වූ තානාපති ආචාර්ය කොහොන මැතිතුමා පසුගිය වසර 70ක කාලය තුළ ශ්‍රී ලංකාව සහ චීනය විවිධ ක්ෂේත්‍රවල සමීප සහයෝගීතාවයක් පවත්වා ගෙන ගිය බවත් බහුපාර්ශ්වික සංසදවලදී දෙරට විසින් එකිනෙකාට සහයෝගය දැක්වූ බවත් ප්‍රකාශ කළේය. අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ දෙපාර්ශවයට ම වාසි අත්වන ප්‍රතිඵල ලබා ගැනීම සඳහා වඩාත් සමීප සහ මිත්‍රශීලී සබඳතා ඇති කර ගැනීම හේතුවෙන් මහනුවර සහ ච්‍යුයින්තාඕ නගර අතර පාලම වීමට තමාට හැකි වීම පිළිබඳ සතුටු වන බව ඔහු පැවසීය. ච්‍යුයින්තාඕ හි වර්ධනය වන ආර්ථිකය එහි අති නවීන තාක්‍ෂණය සහ උසස් මට්ටමේ අධ්‍යාපන පහසුකම් තුළින් මහනුවරට නගර වැසියන්ට ප්‍රතිලාභ ලැබිය හැකිය.

1957 වර්ෂයේ දී චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමෙන් පසු අවසන් කළ 13 වැනි මිත්‍රත්ව නගර ගිවිසුම ච්‍යුයින්තාඕ සහ මහනුවර අතර ගිවිසුම බව තානාපති ෂී ෂෙන්හොන්ග් මැතිතුමා පැවසීය. මෙම ගිවිසුම දෙරටේ ජනතාව අතර අවබෝධය සහ මිත්‍රත්වය තවදුරටත් ප්‍රවර්ධනය කරනු ඇති අතර දෙරට අතර දේශීය හුවමාරු ඉතිහාසයට විශේෂීත්වයක් එක් කරනු ඇත. ජාත්‍යන්තර සහයෝගීතාවය සඳහා එක් තීරයක් එක් මාවතක් (One Belt One Road) ව්‍යාපෘතිය සහ නව ෂැංහයි සහයෝගිතා සංවිධානයේ ආදර්ශන කලාපය (ස්කෝඩා වේදිකාව) ච්‍යුයින්තාඕ හි ශක්තිමත් වෙමින් පවතින බව නගරාධිපති ජාඕ හාඕ ෂිබින් මැතිතුමා පැවසීය. ආර්ථිකය, වෙළඳ, සංචාරක සහ සංස්කෘතික යන ක්ෂේත්‍රවල ගනුදෙනු වැඩි දියුණු කිරීම සඳහා දෙපාර්ශවය විසින් ම ස්කෝඩා වේදිකාව පූර්ණ වශයෙන් භාවිතා කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව එතුමා පැවසුවේය. සිය නිෂ්පාදන ප්‍රදර්ශනය සහ වෙළඳ ප්‍රවර්ධනය සඳහා ස්කෝඩා ප්‍රදර්ශන කලාපය භාවිත කරන ලෙස මහනුවර ව්‍යාපාරික ව්‍යවසායකයින් වෙත උද්යෝගයෙන් යුතු ව එතුමා ආරාධනා කළේය. මහනුවර නගරයේ සාමූහික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා එතුමා ච්‍යුයින්තාඕ නාගරික ව්‍යාපාරිකයින් දිරිමත් කරනු ඇත. යුනෙස්කෝ ලෝක උරුම නගරයක් වන මහනුවර නගරය සහ ච්‍යුයින්තාඕ අතර මිත්‍රත්ව නගර ගිවිසුම අවසන් කිරීම ක්ෂේත්‍ර රැසක ද්විපාර්ශ්වික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට ඉවහල් වන බව නගරාධිපති සේනානායක මහතා එහි දී පැවසීය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2021 නොවැම්බර් මස 17 වන දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close