මතින් නිදහස් රටක් වෙනුවෙන් “බක්මහ දිවුරුම” ලබාදීමේ උත්සවය අමතා විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා විසින් පවත්වනු ලැබූ කථාව

මතින් නිදහස් රටක් වෙනුවෙන් “බක්මහ දිවුරුම” ලබාදීමේ උත්සවය අමතා විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා විසින් පවත්වනු ලැබූ කථාව

විදේශ කටයුතු අමාත්‍යාංශය- 2019 අප්‍රේල් 03 වැනිදා

අතිරේක ලේකම්වරුනි,

මාණ්ඩලික නිලධාරී මහත්ම මහත්මියනි,

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයේ සියලුම සාමාජික සාමාජිකාවනි,

අතිගරු ජනාධිපතිතුමාගේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන ‘මතින් නිදහස් රටක්’ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ කොටසක් ලෙස මතින් නිදහස් රටක් වෙනුවෙන් වූ “බක්මහ දිවුරුම” ලබාදීම සඳහා මෙහි රැස්වී සිටින විදේශ කටයුතු අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය වන ඔබ සැම අමතා වචන ස්වල්පයක් කතා කරන්නට ලැබීම මා වැදගත් කොට සලකනවා.

මෙය ශ්‍රී ලංකාව පෙර නුවූ විරූ තරම් වේගයකින් ශීඝ්‍රයෙන් තිරසර සංවර්ධනය කරා පිය මනිමින් සිටින යුගයක්. එමෙන්ම, ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව විශේෂ පිළිගැනීමකට පාත්‍ර වී සිටිනවා. අප ජාත්‍යන්තර ප්‍රජාවේ වැදගත් සාමාජිකයකු ලෙස අපට හිමි ස්ථානය නැවත ලබා ගනිමින් සිටිනවා.

එවැනි වැදගත් යුගයක, දරුණු වසංගතයක් ලෙස ගම් නියම්ගම් පුරා පැතිරෙමින් අපේ රට ගොදුරු කරගන්නට මාන බලන නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම අපේ රට තිරසර සංවර්ධනය කරා යන ගමන්මඟ අවුරා දමා තිබෙනවා. වේගයෙන් පැතිරෙන මත්ද්‍රව්‍ය ජාවාරම අපගේ අනාගත පරම්පරාවල, අපගේ දරුවන්ගේ සුරක්ෂිතභාවය අඳුරු කර දමා තිබෙනවා. එයින් රටේ සමස්ත ජනජීවිතයටම එල්ල වී තිබෙන්නේ ඉතා දැඩි තර්ජනයක්.

දිනපතා පුවත්පත් කියවන, රූපවාහිනිය නරඹන ඔබ දන්නවා මේ මත්ද්‍රව්‍ය රකුසා කොතරම් සූක්ෂම ලෙස සිය අඬු විහිදා අපේ සමාජය ග්‍රහණය කර තිබෙනවාද යන වග. පෙරේදා දිනයේ අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුතුව විනාශ කර දමනු ලැබූ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 769 ක්. එහි වටිනාකම රුපියල් කෝටි දහසක්. මඳක් හිතා බලන්න මේ සා විශාල ප්‍රමාණයක් වූ මත්ද්‍රව්‍ය අත් අඩංගුවට නොගත්තා නම් ඒවා මේ රටේ අහිංසක දරුවන් කී දෙනකු බිලි ගන්නට ඉඩ තිබුණාද කියා. ඒ වාගේම ජාතික ආර්ථිකයට ඉන් එල්ල වන තර්ජනය කොපමණද කියාත් සිතා බැලිය යුතු වෙනවා.

මතින් තොර රටක් අනාගත පරපුරට උරුම කරදීම සඳහා වන මහා ව්‍යායාමය දැන් ආරම්භ වී තිබෙනවා. මත්ද්‍රව්‍ය සමඟ කරන මේ දැවැන්ත සටනට අතිගරු ජනාධිපතිතුමාම නායකත්වය දී තිබීම අප සියලු දෙනාම දිරිමත් කරවන කාරණයක් වනවාට කිසිම සැකයක් නෑ. මත්ද්‍රව්‍ය නිවාරණය කරන්නට, ඒ ජාවාරම සමඟ සටන් කරන්නට අවශ්‍ය දේශපාලන වුවමනාව අප සතුව තිබෙන බව ඉන් මනාව පැහැදිලි වෙනවා. එතුමා තුළ ඇති එම කැපවීම, අධිෂ්ඨාන ශක්තිය අප අගය කළ යුතුයි. 2020 වසර වන විට මෙරටින් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරන බවට අතිගරු ජනාධිපතිතුමා පෙරේදා ප්‍රකාශ කළා. එය ඉතා අගය කළ යුතු ඉලක්කයක්.

අපගේ අනාගත පරපුරට මතින් නිදහස් රටක් බිහිකිරීමේ කාර්යය කිසි කෙනකුට තනියෙන් කළ හැකි කටයුත්තක් නොවෙයි. ඊට සාමූහික ප්‍රයත්නයක් අවශ්‍ය කරනවා. රටක් හැටියට, ජනතාවක් හැටියට අප මත්ද්‍රව්‍ය රකුසාට එරෙහිව නැඟී සිටිය යුතුයි. මතින් නිදහස්   ශ්‍රී ලංකාවක් බිහි කිරීම උදෙසා වන මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන සඳහා අප සියලු දෙනාම අපගේ අවංක, අනලස් ඒ වාගේම කැපවීමෙන් යුත් දායකත්වය ලබා දීම අත්‍යවශ්‍යයි. විදේශ කටයුතු අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය හැටියට අප සියලු දෙනාමත් ඒ සද් කටයුත්තට අපගේ උපරිම සහයෝගය ලබා දිය යුතුයි. මෙම පසුබිම තුළ “බක්මහ දිවුරුම” වැනි දිවුරුමක් රාජ්‍ය සේවකයන් වන අප ලබා දීම අතිශය වැදගත් කටයුත්තක් වෙනවා.

ඔබ දැන් මේ මොහොතකට පෙර දිවුරුම් දුන්නාක් මෙන්, සමස්ත ශ්‍රී ලාංකික සහෘද ප්‍රජාවත්, අපගේ අනාගත පරපුරත් මතින් නිදහස් කර ගත හැක්කේත්, මතින් නිදහස් රටක් බිහිකළ හැක්කේත් ඔබ වෙත පැවරෙන උත්කෘෂ්ට වූ සාමුහික කාර්යභාරය උපරිම කැපවීමෙන් හා අවංකභාවයෙන් යුතුව සපුරා ඉටු කිරීමෙන් පමණයි.

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා අපගේ උපරිම හා අවංක සහයෝගය ලබාදීමට මේ වැදගත් අවස්ථාවේදී තිර ලෙස අධිෂ්ඨාන කර ගනිමුයැයි පවසමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

ඔබ සැමට ස්තූතියි.

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close