බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී ශ්‍රී ලංකාවේ නිල් මැණික් කැපී පෙනෙයි

බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී ශ්‍රී ලංකාවේ නිල් මැණික් කැපී පෙනෙයි

2022 ජනවාරි මස 17වන දින බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති ආකර්ෂණීය උත්සවයකදී ශ්‍රී ලංකාවේ මැණික් වර්ග ගණනාවක් ප්‍රදර්ශනය කෙරිණි.  ‘LARWINER - Gem Art Jewellery’ ආයතනය අනුග්‍රාහකත්වය දැරූ මෙම උත්සවයේ දී ශ්‍රී ලංකාවේ ඉස්තරම් ගණයේ නිල් මැණික් සහ තවත් වර්ණවත් මැණික් වර්ග ගණනාවක් ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර තිබිණි. ප්‍රභූ මට්ටමේ ගනුදෙනුකරුවන් බොහොමයක් ඇතුළුව අමුත්තන් සිය දෙනෙක් පමණ මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගි වූහ.

‘LARWINER - Gem Art Jewellery’ආයතනය යනු ශ්‍රී ලංකාවේ අනර්ඝත ම නිල් මැණික් වර්ග මෙන් ම ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට නිරන්තරයෙන් කටයුතු කළ ආයතනයකි.

බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 65 වැනි සංවත්සරය මෙන්ම රබර් සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සර සැමරුමට සමගාමීව වැඩසටහන් රැසක් සංවිධානය කරමින් සිටින අතර මින් පෙර ද තානාපති කාර්යාලය විසින් වීශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සංචාරක සහ මාධ්‍ය උත්සවයක් පවත්වා ඇත.

සම්භාවනීය අමුත්තන් පිළිගනිමින් චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා ශ්‍රී ලාංකේය මැණික් කර්මාන්තයේ ඉතිහාසය සහ පතල් කැණීමේ ක්‍රියාවලිය, මැණික් කැපීම, ඔප දැමීම සහ ස්වර්ණාභරණ සෑදීම පිළිබඳව විස්තර කළේය. මේ සියල්ල සියැසින් ම දැක බලා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස එතුමා සහභාගීවූවන් හට ආරාධනා කළේය. මෙවැනි කුඩා පරිමාණයේ ප්‍රදර්ශන ඉදිරියේදී ද සංවිධානය කෙරෙන බවත් එම ප්‍රදර්ශන සඳහා ශ්‍රී ලංකාවෙන් ද ප්‍රදර්ශකයින් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන බවත් තානාපතිවරයා පැවසීය.

දීර්ඝ කාලයක් මුළුල්ලේ තම ආයතනය ශ්‍රී ලංකාවෙන් වර්ණවත් මැණික් වර්ග ආනයනය කර ඇති බවත්, අනෙකුත් රටවල මැණික් වර්ග සමඟ සසඳන විට ඒවා ගුණාත්මකභාවය අතින් ඉතා ඉහළ මට්ටමක පවතින බව අනාවරණය වූ බවත් LARWINER ස්වර්ණාභරණ ආයතනයේ හිමිකාරීත්වය දරන මෙයි මෙයි මහත්මිය පැවසුවාය. විශේෂයෙන්ම ඉතා අනර්ඝ තත්ත්වයෙන් පවතින ශ්‍රී ලංකාවේ දුර්ලභ නිල් මැණික් චීනයේ අලෙවි කරන ලද මැණික් වර්ගවලින් 90% කට අධික ප්‍රමාණයක් අලෙවි වී ඇත.

මෙම  LARWINER මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය නිල වශයෙන් සහතික කරන ලද නිල් මැණික් සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් වර්ණවත් මැණික් වර්ග ගණනාවක් පිළිබඳව ප්‍රේක්ෂකයින්ට අවබෝධ කර ගැනීමට අවස්ථාව සලසා දුන්නේය.

මෙම ප්‍රදර්ශනය අතරතුර දිනුම් ඇදීමක් පැවැත්වුණු අතර සහභාගිවූවන් බොහොමයක් දෙනා LARWINER ආයතනය වෙතින් පිරිනමනු ලැබූ අගනා ස්වර්ණාභරණ දිනා ගත්හ. සහභාගී වූ සියල්ලන් වෙත ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් පිරිනමනු ලැබූ උසස් ගණයේ රාත්‍රී භෝජන සංග්‍රහයෙන් අනතුරුව මෙම ප්‍රදර්ශනය සමාප්ත විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2022 ජනවාරි 24 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close