බීජිං වෙසක් උත්සවයට චීනයේ ලංකා කුමරියත් එක්වෙයි

බීජිං වෙසක් උත්සවයට චීනයේ ලංකා කුමරියත් එක්වෙයි

බීජිං හි පැවැති වෙසක් සැමරුම් උත්සවයට  “ලංකා කුමරිය”නමින් විරුදාවලිය ලත් VI වන පරාක්‍රමබාහු රජ පෙළපතේ සාමාජිකාවක වන,  ෂු ෂී යින් කුමරිය සහභාගී වූවාය. වෙසක් සැමරුම් උත්සවයට සහභාගී වීමට පෙර ඇය තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා මුණ ගැසී සිය පෙළපත් සටහන ඔහුට පැහැදිලි කළාය.

ඇය කෝට්ටේ රාජධානියේ VI වන පරාක්‍රමබාහු රජුගේ පෙළපතින් පැවත එන 19 වන පරම්පරාවට අයත් වේ.  මෙම හමුවේදී ඇය තම ලංකා රාජකීය මුතුන්මිත්තන්ගේ භූමදාන භූමියේ ඡායාරූප ද පෙන්වූවාය. චීනයේ ප්‍රසිද්ධියට පත් ෂු කුමරිය, දෙරට අතර ඇති ද්විපාර්ශ්වික සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට සැලකිය යුතු දායකත්වයක් සපයයි.

2009 දී ෂු ෂී යින් කුමරියගේ මඟ පෙන්වීම යටතේ, කුමරිය උපන් නගරය වන චුවෑන්ජෝවු නගරය කොළඹ නගරය සමඟ සහෝදර නගර සම්බන්ධතාවයකට එළඹුණි. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ චුවෑන්ජෝවු හි ලීචෙන්ග්  දිස්ත්‍රික්කය ද 2017 දී සහෝදර නගර බවට පත්විය.

තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා ශ්‍රී ලංකාවේ ඥාති කුමරිය සාදරයෙන් පිළිගනිමින් පවසා සිටියේ, සහස්‍ර ගණනාවක් පුරා පැවත එන ශ්‍රී ලංකාව හා චීනය අතර ඇති සමීප පුද්ගල සබඳතා සඳහා ඇය ජීවමාන ආදර්ශයක් බවයි. දෙරට අතර පුද්ගල සබඳතා වැඩි දියුණු කිරීමට තවදුරටත් ක්‍රියාශීලීව කටයුතු කරනමෙන් ආචාර්ය කොහොන මැතිතුමා ෂු කුමරියගෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2021 ජූනි මස 01 වන දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close