බ්‍රසීලයේ නව ශ්‍රී ලංකා තානාපති සුමිත් දසනායක මහතා අක්තපත්‍ර භාරදේ

බ්‍රසීලයේ නව ශ්‍රී ලංකා තානාපති සුමිත් දසනායක මහතා අක්තපත්‍ර භාරදේ

බ්‍රසීලයේ නව ශ්‍රී ලංකා තානාපති සුමිත් දසනායක මහතා බ්‍රසීල ජනාධිපති ජයර් බොල්සනාරෝ මහතා වෙත 2021 ඔක්තෝබර් 08 වන සිකුරාදා වන දින බ්‍රසීල ජනාධිපති මන්දිරයේදී අක්තපත්‍ර භාරදෙන ලදී.

අක්තපත්‍ර භාරදීමෙන් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරයා සමග සිදුකළ විශේෂ සාකච්ඡාවේදී ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ශ්‍රී ලංකා රජයේ සුභාශිංෂණ බ්‍රසීල ජනාධිපතිවරයා වෙත ප්‍රදානය කරන ලදී. බ්‍රසීලයේ සාර්ථක ධුර කාලයක් සඳහා නව ශ්‍රී ලංකා තානාපතිවරයාට ජනාධිපති බොල්සොනාරෝ සිය සුභ පැතුම් එක් කළේය.

මෙහිදී, දෙරට අතර ද්විපාර්ශවික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමේ අවශ්‍යතාවය තානාපති සුමිත් දසනායක මහතා විසින් බ්‍රසීල ජනාධිපතිවරයා වෙත අවධාරණය කරන ලද අතර, ශ්‍රී ලංකාව තුළ වෙළඳ, සංචාරක සහ ආයෝජන යන ක්ෂේත්‍රයන්හි පවතින පුළුල් අවස්ථා පිළිබඳව ද බ්‍රසීල ජනාධිපතිවරයා දැනුවත් කරන ලදී.

මෙම සාකච්ඡාවට බ්‍රසීලයේ විදේශ කටයුතු අමාත්‍ය කාලෝස් ඇල්බර්ටෝ ෆ්‍රැන්කා මහතා සහ විදේශ ලේකම් ෆර්නැන්ඩෝ සිමාස් මගල්යේස් මහතා ඇතුළු බ්‍රසීලයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ ජනාධිපති කාර්යාලයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් එක් වී සිටියහ.

තානාපති සුමිත් දසනායක මහතා බ්‍රසීලයේ තානාපති ධුරයට සමගාමීව ආර්ජන්ටිනාව, චිලී රාජ්‍යය, කොළොම්බියාව, ගයනාව, පැරගුවේ රාජ්‍යය, උරුගුවේ රාජ්‍යය, පේරු රාජ්‍යය සහ සුරිනාමය යන රටවලද අනේවාසික තානාපති ලෙස කටයුතු කරනු ලබයි.

කැළණිය විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී ගෞරව උපාධිය හිමිකරගෙන ඇති සුමිත් දසනායක මහතා 1998 වර්ෂයේදී ශ්‍රී ලංකා විදේශ සේවයට එක් වූ අතර, ඉතියෝපියාවේ පළමු ශ්‍රී ලංකා නේවාසික තානාපතිවරයා සහ අප්‍රිකානු සංගමයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයා වශයෙන් ද කටයුතු කර ඇත.

සුමිත් දසනායක මහතා සිය සේවා කාලය තුළදී විදේශ කටයුතු අමාත්‍යංශයේ මෙන්ම කැනඩාව, නෝර්වේ සහ ඉන්දියාව යන රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල වෙත සිය සේවය ලබාදී ඇති අතර, බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත්වීම් ලැබීමට ප්‍රථමයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ මානව සම්පත් සහ තානාපති කාර්යාල කළමනාකරණය පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් සේවය කර ඇත‍.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බ්‍රසීලය

2021 ඔක්තෝම්බර් 12වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close