බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ සම්මුතිය යටතේ ශ්‍රී ලංකාව පිළිබඳ සමාලෝචනය ජිනීවා නුවරදී පැවැත්වේ.

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ සම්මුතිය යටතේ ශ්‍රී ලංකාව පිළිබඳ සමාලෝචනය ජිනීවා නුවරදී පැවැත්වේ.

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව, එහි 29 වැනි සැසිවාරයේදී, 2025 සැප්තැම්බර් 26 වැනි දින ජිනීවා නුවරදී ශ්‍රී ලංකාවේ පළමු කාලාන්තර වාර්තාව සමාලෝචනය කරනු ඇත.

මෙම සමාලෝචනය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකත්වය දරනු ලබන්නේ  අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී, හර්ෂණ නානායක්කාර මහතා විසිනි. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, පොලිස් දෙපාර්තමේන්තුව, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය, හානි පූර්ණය සඳහා වන කාර්යාලය, ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය සහ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය යන ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් ශ්‍රී ලංකා නියෝජිත පිරිස සමන්විත වනු ඇත.

මෙම සමාලෝචනය, ශ්‍රී ලංකා රජයේ නියෝජිත කණ්ඩායම සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව අතර දෙමුහුන් අන්තර්ක්‍රියාකාරී සංවාදයක ස්වරූපය ගනු ඇත.

ශ්‍රී ලංකාව 2015 දෙසැම්බර් 10 වැනි දින බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් තැබූ අතර 2016 මැයි 25 වැනි දින එය අපරානුමත කරන ලදී. ශ්‍රී ලංකාව, 2023 අගෝස්තු 23 වැනි දින, මෙම සම්මුතිය යටතේ සිය මූලික වාර්තාව ඉදිරිපත් කළ අතර තම වගකීම් ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන ඇති පියවර ගෙනහැර දැක්වීය. බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ කමිටුව විසින් ශ්‍රී ලංකාවේ මූලික වාර්තාව සලකා බැලීම ඉදිරි සමාලෝචනයේදී සිදුවේ.

2025 සැප්තැම්බර් 22 වැනි දින සිට ඔක්තෝබර් 02 වැනි දින දක්වා පැවැත්වෙන 29 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට අමතරව මොන්ටිනිග්‍රෝ සහ බෙනින් යන රටවල වාර්තාද කමිටුව විසින් සමාලෝචනය කරනු ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ

 2025 සැප්තැම්බර් 26 වැනි දින

 

 

 

Please follow and like us:

Close