බංග්ලාදේශ සංචාරකයෝ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා උනන්දුවක් දක්වති

බංග්ලාදේශ සංචාරකයෝ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා උනන්දුවක් දක්වති

බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සමඟ එක්ව, 2022 සැප්තැම්බර් 29 - 30 යන දිනවල සහ ඔක්තෝබර් 01 යන දින ඩකා හි බෂුන්දරා හි පිහිටි ජාත්‍යන්තර සම්මේලන නගරයේ පැවති 9 වැනි ආසියානු සංචාරක ප්‍රදර්ශනයට (ATF) සහභාගී විය. බංග්ලාදේශයේ සිවිල් ගුවන් සේවා සහ සංචාරක අමාත්‍යංශයේ මාර්ගෝපදේශ යටතේ බංග්ලාදේශ පර්ජාටන් සංස්ථාව (BPC), බංග්ලාදේශ සංචාරක මණ්ඩලය (BTB) සහ සංචාරක සඟරාවක් වන Parjatan Bichitra හි ඒකාබද්ධ සහයෝගීතාවයෙන් මෙම ප්‍රදර්ශනය සංවිධානය කරන ලදී.

මෙම තෙදින සංචාරක ප්‍රදර්ශනය අතරතුර, ශ්‍රී ලංකා ප්‍රවර්ධන කුටියට බංග්ලාදේශ සංචාරක ක්‍රියාකරුවන්, සංචාරක නියෝජිතයන්, තනිව සංචාරයේ නිරත වන සංචාරකයන් සහ සිසුන්  ඇතුළු 1,000 කට අධික පිරිසක් පැමිණිය හ. කලාපයේ බොහෝ රටවල් සංචාරක ගමන් සම්බන්ධයෙන් මුහුණ පෑ සීමා ලිහිල් වීමත් සමඟ, එනම් වසර දෙකක කාලයකට පසුව ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වීම සඳහා මෙම පිරිස සිය උනන්දුව පළ කළහ.

ඔක්තෝබර් 29 වැනි දින පැවති සමාරම්භක උළෙල අතරතුර මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලාංකික නර්තනාංග රැගත් විශේෂ සංස්කෘතික සන්ධ්‍යාවක් සංවිධානය කරන ලදී. බංග්ලාදේශයේ පිහිටි ශ්‍රී ලාංකික නර්තන පාසලක සිසුවියක් විසින් මෙම සම්ප්‍රදායික නර්තන ඉදිරිපත් කරන ලදී.

ශ්‍රී ලංකාවට පැමිණෙන බංග්ලාදේශ සංචාරකයන් සඳහා විශේෂ ගුවන් ගමන් ගාස්තුවක් ප්‍රවර්ධනය කළ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, තෙදිනක් මුළුල්ලේ පැවති මෙම වෙළඳ ප්‍රදර්ශනය අතරතුර සෑම සන්ධ්‍යාවකම පැවැත්වූ දිනුම් ඇදීමේ තරගවලින් තෝරාගත් වාසනාවන්ත ජයග්‍රාහකයන් සඳහා කොළඹට පැමිණිය හැකි නැවත පිටත්ව යෑමේ ගුවන් ටිකට්පත් තුනක් පිරිනැමී ය.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සංචාර සහ රැස්වීම් සඳහා පනවන ලද සීමා හේතුවෙන්, ආසියානු සංචාරක ප්‍රදර්ශනය 2022 මෙවර සංවිධානය කරන ලද්දේ වසර දෙකක කාලයකට පසුව ය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ඩකා

 2022 ඔක්තෝබර් 04 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close