බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න මැතිතුමා බංග්ලාදේශ ජනපතිට සිය අක්ත පත්‍ර පිළිගන්වයි

බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න මැතිතුමා බංග්ලාදේශ ජනපතිට සිය අක්ත පත්‍ර පිළිගන්වයි

 

බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න මැතිතුමා 2020 දෙසැම්බර් 3 වැනි දින ඩකා හි ජනාධිපති මන්දිරයේ දී බංග්ලාදේශ ජනාධිපති අතිගරු මොහොමඩ් අබ්දුල් හමීඩ් මැතිතුමා වෙත සිය අක්ත පත්‍ර ලිපිය පිළිගැන්වීය.

නිල උත්සවයෙන් අනතුරුව, බංග්ලාදේශයේ අතිගරු ජනාධිපතිතුමා සහ මහ කොමසාරිස්වරයා අතර සුහද සාකච්ඡාවක් පැවැත්විණ. සාකච්ඡාව අතරතුර දී, බංග්ලාදේශයේ අතිගරු ජනාධිපතිතුමා හිටපු ජනාධිපති හා වත්මන් අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ එතුමාගේ පැවති දීර්ඝ කාලීන සුහද ඇසුර සිහිපත් කළ අතර, ශ්‍රී ලංකාව පුනර්ජීවනය කිරීම සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දරණ උත්සාහය පැසසුමට ලක් කළේය.

මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපතිතුමාගේ සුබ පැතුම් බංග්ලාදේශයේ අතිගරු ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය. මහ කොමසාරිස්වරයාගේ භාර්යාව වන හර්ෂා සෙනෙවිරත්න මැතිනිය ද මෙම අවස්ථාවට සහභාගී වූවාය.

මහාචාර්ය සෙනෙවිරත්න මැතිතුමා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා අංශයේ අංශ ප්‍රධානී හා පුරා විද්‍යාව පිළිබඳ මහාචාර්ය තනතුර, යුනෙස්කෝ - ශ්‍රී ලංකා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර ඇතුළු විවිධ සම්භාවනීය තනතුරු හොබවා ඇති අතර, විදේශ කටයුතු අමාත්‍ය ගරු ලක්ෂ්මන් කදිර්ගාමර් අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක (සංස්කෘතික) ලෙස ද කටයුතු කළේය. එසේම, එතුමා 2014 සිට 2016 දක්වා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරය ද හෙබවීය.

මහාචාර්ය සෙනෙවිරත්න මැතිතුමා කොළඹ ආනන්ද විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය
ඩාකා
2020 දෙසැම්බර් 11 වැනි දින

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close