පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහ වියට්නාමයේ ටොන් ඩුක් තාන් විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨ අතර සහයෝගීතාවය

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහ වියට්නාමයේ ටොන් ඩුක් තාන් විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨ අතර සහයෝගීතාවය

2021 සැප්තැම්බර් 23 වැනි දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ (UoP) සහ වියට්නාමයේ ටොන් ඩුක් තාං විශ්වවිද්‍යාලයේ (TDTU) කළමනාකරණ අධ්‍යයන පීඨවල අධ්‍යයනඥයින් අතර අතථ්‍ය හමුවක් සඳහා වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පහසුකම් සැලසීය. විශ්වවිද්‍යාල දෙකෙහිම අධ්‍යයනඥයින් අධ්‍යයන හුවමාරුව, සහයෝගී පර්යේෂණ, ජාත්‍යන්තර සම්මන්ත්‍රණවල සහභාගීත්වය, පශ්චාත් උපාධි අපේක්ෂකයින් සඳහා කෙටි අධ්‍යයන චාරිකා සහ කෙටි මාර්ගගත අධ්‍යයන වැඩසටහන් පිරිනැමීම තුළින් සිසුන් අතර අනාගත සහයෝගීතාව යනාදිය පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ. මෙම ක්‍රියාකාරකම් තහවුරු කිරීම හා විධිමත් කිරීම සහ හඳුනාගත්  සහයෝගිතා ක්ෂේත්‍ර පිළිබඳව වහාම පියවර ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීමට විද්වතුන් එකඟ විය.

වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසන්න ගමගේ මැතිතුමා සිය ආරම්භක කතාවේදී සහභාගී වී සිටි අධ්‍යයනඥයින්ට සහ අතථ්‍ය හමුවේ සංවිධායකවරුන්ට ස්තූතිය පළ කළ අතර, අපේක්‍ෂිත අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා විශ්වවිද්‍යාල දෙකටම අවශ්‍ය අධ්‍යයන කුසලතා සහ වෙනත් සම්පත් තිබෙන බව අවධාරණය කළේය. මෙවැනි වැඩපිළිවෙළවල් තුළින් මිනිසුන්ගේ සබඳතා වැඩිදියුණු කිරීමේ වැදගත්කම ද අවධාරණය කළ ඔහු, විශ්වවිද්‍යාල දෙකෙහිම සහයෝගිතා ප්‍රයත්න සඳහා තානාපති කාර්යාලයේ සහයෝගය ලබා දෙන බවට යළි තහවුරු කළේය.

ටොන් ඩුක් තාං විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සහයෝගීතාව, පර්යේෂණ හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ඩින් හොවැං බැච් මහතා කරුණු දක්වමින් අවධාරණය කළේ, විශ්වවිද්‍යාල දෙකෙහිම කළමනාකරණ පීඨ අතර පවතින දැඩි සමානකම් හේතුවෙන් අනාගතයේ දී සහයෝගීතාවය සඳහා අවස්ථා රාශියක් පැවතිය හැකි බවයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ පීඨාධිපති මහාචාර්ය අතුල ඒකනායක මහතා තම පීඨය මඟින් ඉදිරිපත් කෙරෙන අධ්‍යයන වැඩසටහන්වල ස්වභාවය සහ මෙවැනි ජාත්‍යන්තර සහයෝගීතාවයන් තුළින් සිසුන්ට සහ අධ්‍යයන කාර්ය මණ්ඩලයට ජාත්‍යන්තරව නිරාවරණය වීම සඳහා මාර්ග සෙවීමට ඇති කැමැත්ත පැහැදිලි කළේය.

ආචාර්ය ට්‍රාන් ති ෆි ෆුවොං මහතා සහ ආචාර්ය ෆුවං මින් ටුවාන් මහතා තවත් ජ්‍යෙෂ්ඨ කාර්‍ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකුගේම සහාය ඇතිව ටොන් ඩුක් තාං විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය නියෝජනය කළහ.
මෙහෙයුම් කළමනාකරණ හා පශ්චාත් උපාධි අධ්‍යයන අංශ ප්‍රධානී මහාචාර්ය රවීන්ද්‍ර එච්. කුරුප්පුගේ, ව්‍යාපාරික මූල්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ආචාර්ය සුජීව කොඩිතුවක්කු සහ මෙහෙයුම් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍ය ආචාර්ය එස්. මහේෂ්වරන් යන මහත්වරු අතථ්‍ය හමුව අතරතුර දී මහාචාර්ය ඒකනායක මහතාට සහාය වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

හැනොයි

2021 සැප්තැම්බර් 28 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close