පුද්ගල ජාවාරම මැඬපැවැත්වීම පිළිබඳ අන්තර්ජාල පාඨමාලාව දියත් කිරීම

පුද්ගල ජාවාරම මැඬපැවැත්වීම පිළිබඳ අන්තර්ජාල පාඨමාලාව දියත් කිරීම

DSC_3036

පුද්ගල ජාවාරම මැඬපැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලවල සේවය කරන නිලධාරීන්ගේ ශක්නුතාව වර්ධනය කිරීමේ අරමුණින් සකස් කරන ලද අන්තර්ජාලමය පුහුණු පාඨමාලාවක් 2018 ඔක්තෝබර් 09 වැනි දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනයේදී (BIDTI) දියත් කරන ලදී. සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය (IOM) විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කොට සකස් කරන ලද මෙම පාඨමාලාව බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනයේ විද්‍යුත් ඉගෙනුම් අවකාශයේ කොටසක් බවට පත්වනු ඇත. ඕස්ට්‍රේලියානු රජය මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍යමය සහය ලබාදී ඇත.

පුද්ගල ජාවාරම යනු “පොදු මනුෂ්‍යත්වය පිළිබඳ අපගේ හැඟීමට කැළලක් වන අතරම මානව වර්ගයාට සිදුවන අසාධාරණයක්” බව මෙම පුහුණු පාඨමාලාව දියත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා පැවසීය. “පුද්ගල ජාවාරම ජනතාවගේ සෞඛ්‍යයට උපද්‍රවයක් වන බවත්, සංවිධානාත්මක අපරාධ හා අපරාධ ක්‍රියා රාශියකට එය බැඳී පවතින බවත්” වැඩිදුරටත් සඳහන් කළ ඒ මහතා, පුද්ගල ජාවාරම නැවැත්වීමේ පළමු පියවර, එම ජාවාරම සහ ඊට අදාළ සිද්ධි හඳුනාගැනීමට ඇති හැකියාව තුළ රඳා පවතින බවද සඳහන් කළේය. මේ අනුව, එම වින්දිතයන් හඳුනාගැනීම, ඔවුන්ට සහයවීම හා ඔවුන් ආරක්ෂා කිරීම පිළිබඳව විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල නිලධාරීන් මනා ලෙස සූදානම් කිරීම සඳහා මෙම පාඨමාලාව සකස් කර ඇත. “පුද්ගල ජාවාරමේ වින්දිතයන් බවට පත්විය හැකි පුද්ගලයන් හමුවූ විට ඔවුන්ට ඵලදායී ලෙස හා සංවේදීව ප්‍රතිචාර දැක්වීමේ මූලික හැකියාව ලබා ගැනීමට මෙම පුහුණුව ඔවුන්ට උපකාරී වනු ඇතැයි යන්න අපගේ බලාපොරොත්තුව” යැයි ලේකම්වරයා පැවසීය. එමෙන්ම පුද්ගල ජාවාරම මැඬීමෙහිලා හවුල්කාරීත්ව ගොඩනැංවීමේ වැදගත්කමද මෙහිදී ඒ මහතා අවධාරණය කළේය.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ලේකම් ඩබ්.එම්.එම්.ආර්. අධිකාරී මහත්මිය පුද්ගල ජාවාරමට එරෙහි ජාතික කාර්ය සාධන බලකායේ සභාපති ලෙස කරුණු දක්වමින්, මිනිස් ජාවාරමට එරෙහිව කටයුතු කිරීමේදී ප්‍රධාන රජයේ නියෝජිතායතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව සඳහන් කළාය. 2010 වර්ෂයේදී එය ආරම්භ කරන ලද අවධියේ පටන් ජාතික කාර්ය සාධන බලකාය ඵලදායී අන්තර්-නියෝජිතායතන යාන්ත්‍රණයක් බවට පත්වී ඇති අතර ශ්‍රී ලංකාව තුළ හා ඉන් පිටත පුද්ගල ජාවාරම් මැඬපැවැත්වීමේ කාර්යයේදී ඒ හරහා ශ්‍රී ලංකා රාජ්‍ය ආයතන තොරතුරු හා ඵලදායී භාවිතයන් හුවමාරු කර ගැනීම සිදුකරයි.

මෙම අන්තර්ජාල ඉගෙනුම් පාඨමාලාව මිනිස් ජාවාරම සිදුකිරීමේ අපරාධය පිළිබඳව හා එය පුද්ගල අවහරණයෙන් වෙනස් වන්නේ කෙසේද යන්න පිළිබඳව මූලික අවබෝධයක් නිලධාරීන්ට ලබාදීමේ අරමුණින්, පාඨමාලා ඒකක හතකින් යුක්තව සකස් කොට තිබේ. පුද්ගල ජාවාරමට අදාළ නෛතික රාමුව, අදාළ ජාත්‍යන්තර ක්‍රියා පටිපාටි හා සම්මුතීන්, වින්දිතයන් බවට පත්විය හැකි පුද්ගලයන් සාර්ථකව හඳුනාගැනීම හා ඔවුන් සම්මුඛ පරීක්ෂණවලට භාජනය කිරීම, සහ ඔවුන්ට සහය ලබා දීම, ආරක්ෂා කිරීම හා වින්දිතයන් සුරක්ෂිතව ආපසු සියරට පැමිණෙන බවට වගබලා ගන්නේ කෙසේද යන්න පිළිබඳව මෙන්ම මේ සම්බන්ධයෙන් කොන්සියුලර් හා රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩල සතු කාර්යභාරය හා වගකීම් පිළිබඳවද මෙම පාඨමාලා ඒකක සවිස්තරාත්මකව කරුණු දක්වයි.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හචිසන් මහතා, පුද්ගල ජාවාරමට එරෙහිව කටයුතු කිරීමේදී ශ්‍රී ලංකාව ලබාදෙන සහයෝගය පිළිබඳව අගය කළ අතර පුද්ගල ජාවාරමට එරෙහි බාලි ක්‍රියාදාමයේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ ශක්තිමත් කාර්ය භාරය පිළිබඳව අවධාරණය කළේය. පුද්ගල අවහරණය, පුද්ගල ජාවාරම සහ සෙසු ජාත්‍යන්තර අපරාධ පිළිබඳ බාලි ක්‍රියාදාමය, ආසියා - ශාන්තිකර රටවල ප්‍රතිපත්ති සංවාද, තොරතුරු හුවමාරුව හා ප්‍රායෝගික සහයෝගිතාව සඳහා කලාපීය වේදිකාවකට ඉඩහසර සලසයි. ඕස්ට්‍රේලියාව, පුද්ගල ජාවාරම හා පුද්ගල අවහරණය පිළිබඳ ගැටලුවලට විසැඳුම් සෙවීමේදී අධිකරණ අමාත්‍යාංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක ශක්නුතාව වර්ධනය කිරීමෙහිලා ශ්‍රී ලංකාවට සහය ලබාදෙන ප්‍රධාන ද්විපාර්ශ්වික හවුල්කරුවෙක්ද වෙයි.

සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධානී, ජුසෙප්පෙ ක්‍රොචෙත්ති මහතා කථා කරමින්, මෙම පාඨමාලාවේ අන්තර්ගතය පුද්ගල ජාවාරමට එරෙහි පුහුණු අත්පොතක් මත පදනම් වන බවත් එය සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ "මහජනයා දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ඔස්සේ පුද්ගල ජාවාරම මැඬපැවැත්වීම" නමැති ව්‍යාපෘතියෙහි එක් අංගයක් වන බවත් සඳහන් කළේය.

මෙම වැදගත් පාඨමාලාව සිය විද්‍යුත් ඉගෙනුම් අවකාශයට ඇතුළත් කිරීමට ලැබීම පිළිබඳව, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන පුහුණු ආයතනය ලෙස බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය සතුටට පත්වන බව එහි අධ්‍යක්ෂ ජනරාල් පැමෙලා ඩීන් මහත්මිය සඳහන් කළාය.

පුද්ගල ජාවාරම සඳහා විසැඳුම් සෙවීමේදී පසුගිය වසරවල විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රගාමී කාර්ය භාරයක් ඉටුකර ඇත. මෙම ගැටලුව සඳහා විසැඳුම් ලබා දීමට රජයේ ආයතන දැරූ සාමූහික ප්‍රයත්න හේතුවෙන් 2018 වසරේදීද අඛණ්ඩව දෙවැනි වතාවටත් පුද්ගල ජාවාරම පිළිබඳ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවේ දෙවැනි ස්ථරයේ රැඳී සිටීමට ශ්‍රී ලංකාවට හැකිවී තිබේ.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2018 ඔක්තෝබර් 10 වැනිදා
DSC_2999

DSC_2985

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

Print Friendly, PDF & Email
Please follow and like us:

Close