පුද්ගලාන්තර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය දිල්ලියේ පිහිටි ජමා මස්ජිදය වෙත ශුද්ධ වූ කුරානයේ සිංහල පරිවර්තනයක් පිළිගන්වයි

පුද්ගලාන්තර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය දිල්ලියේ පිහිටි ජමා මස්ජිදය වෙත ශුද්ධ වූ කුරානයේ සිංහල පරිවර්තනයක් පිළිගන්වයි

නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉන්දියාව සමඟ පවත්නා පුද්ගලාන්තර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, කීර්තිමත් මෝගල් අධිරජ ෂා ජහන් විසින් ඉදිකරන ලද ඓතිහාසික ඉස්ලාම් පල්ලියේ ස්ථිර ප්‍රදර්ශනය සඳහා, ශුද්ධ වූ කුරානයේ සිංහල පරිවර්තනයක් දිල්ලියේ පිහිටි ජමා මස්ජිදය වෙත අද (15) දින පිළිගැන්වී ය.

ශ්‍රී ලංකා සමස්ත ලංකා ජමියතුල් උලමා (ACJU) සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද ශුද්ධ වූ කුරානයේ අනර්ඝ සිංහල පරිවර්තනය ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා විසින් ඉන්දියාවේ ප්‍රධාන ඉමාම්වරයාට සහ දිල්ලියේ ජමා මස්ජිදයේ ෂාහි ඉමාම් සයිඩ් අහමඩ් බුහාරි වෙත පිළිගන්වන ලදී. විනිවිද පෙනෙන මඤ්ජුසාවක් තුළ සවි කොට ඇති ශුද්ධ වූ කුරානයේ මෙම පිටපත ඉස්ලාම් පල්ලියේ ප්‍රමුඛ ස්ථානයක ස්ථාපිත කොට ඇත.

ශුද්ධ වූ කුරානයේ සිංහල පිටපත ස්ථිර ප්‍රදර්ශනයට තැබීමට පෙර, ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා සහ ෂාහි ඉමාම් සයිඩ් අහමඩ් බුහාරි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවත්නා ඉස්ලාමීය සබඳතා වැඩි දියුණු කිරීම සම්බන්ධ කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කළහ. ෂාහි ඉමාම්වරයා ශ්‍රී ලංකාවේ ජනතාවගේ මෙම සුහදතාවයේ සහ මිත්‍රත්වයේ සලකුණ අගය කළ අතර, ශ්‍රී ලංකාව ප්‍රගතිශීලී රටක් බව ප්‍රකාශ කළේ ය. හුවමාරු වැඩසටහනක් දියත් කිරීම සඳහා ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ඉස්ලාමීය විද්වතුන් සහ සම්භාවනීය පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ඉමාම් බුහාරිගේ සහාය ඉල්ලා සිටියේ ය. ඉමාම් බුහාරි සහ දිල්ලි ජමා මස්ජිදය සමඟ සබඳතා වැඩි දියුණු කිරීමට ඉහළ පෙළේ ශ්‍රී ලාංකික ඉස්ලාමීය පිරිස් දිරිමත් කරන බව ද එතුමා ප්‍රකාශ කළේ ය.

ඉමාම්වරයා ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට සහ සිය දූත පිරිසට මෝගල් වාස්තු විද්‍යාත්මක ලක්ෂණවලින් සරසා ඇති ඉතා මනරම් ඉස්ලාම් පල්ලිය තුළ සංචාරයක නිරත වීම සඳහා අවස්ථාව සලසා දුන්නේ ය.

දිල්ලියේ ජමා මස්ජිදය ලෙස පොදුවේ හැඳින්වෙන ඉ ජෙහාන්-නුමා මස්ජිදය ඉන්දියාවේ පිහිටි විශාලතම ඉස්ලාම් දේවස්ථානවලින් එකකි. එය වර්ෂ 1650 සහ 1656 කාල වකවානුව තුළ මෝගල් අධිරජ ෂා ජහන් විසින් ඉදිකරන ලද අතර, එහි පළමු ඉමාම්වරයා වන සයිඩ් අබ්දුල් ගෆූර් ෂා බුකාරි විසින් විවෘත කරන ලදී. පුරාණ මෝගල් අගනුවර වූ ෂාජහානාබාද්හි (පුරාණ දිල්ලිය ලෙස වර්තමානයේ හැඳින්වේ) පිහිටා ඇති එය 1857 වර්ෂයේ දී අධිරාජ්‍ය අභාවයට පත් වන තෙක්ම මෝගල් අධිරාජ්‍යයන්ට වෙන් වූ දේවස්ථානය ලෙස භාවිතයට ගන්නා ලදී. මෙම පල්ලිය තුළ බැතිමතුන් 40,000 කට යාඥා කළ හැකි ය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නවදිල්ලිය

2021 නොවැම්බර් 17 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close