පාකිස්තානයේ හටගත් ගංවතුර හේතුවෙන් විපතට පත් වූ ජනතාවට ශ්‍රී ලංකාව ලංකා තේ තොගයක් පරිත්‍යාග කරයි

පාකිස්තානයේ හටගත් ගංවතුර හේතුවෙන් විපතට පත් වූ ජනතාවට ශ්‍රී ලංකාව ලංකා තේ තොගයක් පරිත්‍යාග කරයි

2022 සැප්තැම්බර් 21 වැනි දින ජින්නා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පවත්වන ලද උත්සවයක් අතරතුර, පාකිස්තානයේ හටගත් ගංවතුර හේතුවෙන් විපතට පත් වූවන් සඳහා ශ්‍රී ලංකා රජය විසින් ලංකා තේ තොගයක් පරිත්‍යාග කරන ලදි. ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් මෙම ලංකා තේ තොගය පරිත්‍යාග කිරීම සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය සමඟ සහයෝගයෙන් කටයුතු කළේය.

කරච්චි නුවර සිටින ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ජගත් අබේවර්ණ මහතා, පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මැතිතුමා නියෝජනය කරමින් මෙම තේ තොගය පාකිස්තානයේ ජාතික ආපදා කළමනාකරණ අධිකාරියේ (NDMA) අධ්‍යක්ෂ කර්නල් සජිඩ් රාෆීක් මහතා වෙත භාර දුන්නේ ය. කරච්චි නුවර පිහිටි විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් සකීබ් රවුෆ් මහතා සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කළමනාකාර සමන් රත්නායක මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම උත්සවය අතරතුර සිය අදහස් පළ කළ කොන්සල් ජනරාල් අබේවර්ණ මහතා, පාකිස්තානයේ හටගත් ගංවතුර හේතුවෙන් විපතට පත් වූවන් වෙත ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ශෝකය ප්‍රකාශ කළේ ය. පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ පාකිස්තානයේ NDMA හි අධ්‍යක්ෂවරයා ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට සිය අවංක ප්‍රසාදය පළ කළහ. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා 2022 සැප්තැම්බර් 5 වැනි දින කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යංශයේ දී ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් උමර් ෆාරුක් බුර්කි මැතිතුමා හමුවී ලංකා තේ තොගයක් භාර දුන්නේ ය.

ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෑතක දී පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂාබාස් ෂරීෆ් මැතිතුමා සමඟ නිරත වූ දූරකතන ඇමතුමක් අතරතුර, පාකිස්තානයේ හටගත් ගංවතුර හේතුවෙන් සිදු වූ මහත් විනාශය පිළිබඳව සිය සංවේගය පළ කළේය. සිදුවූ ජීවිත හානි පිළිබඳව අග්‍රාමාත්‍යවරයා වෙත සිය ශෝකය පළ කළ ජනාධිපති වික්‍රමසිංහ මැතිතුමා, ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ සහය පාකිස්තානය වෙත ලබා දෙන බව ප්‍රකාශ කළේ ය.

පාකිස්තානයේ මිලියන 30 කට අධික ජනතාවක් පීඩාවට පත් කරමින්, 1,500 දෙනෙකුට අධික සංඛ්‍යාවකට මරු කැඳවමින් සිදු වූ මෙම ගංවතුර තත්ත්වය, 2010 වර්ෂයෙන් පසුව පාකිස්තානය තුළ හටගත් දරුණුතම ගංවතුර ලෙස සැලකේ.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ඉස්ලාමාබාද්

2022 සැප්තැම්බර් 27 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close