ප්‍රිටෝරියා හි සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා සැම්බියාවේ ව්‍යාපාරික අවස්ථා පිළිබඳව සොයා බලයි

ප්‍රිටෝරියා හි සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා සැම්බියාවේ ව්‍යාපාරික අවස්ථා පිළිබඳව සොයා බලයි

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් එස්. අමරසේකර මැතිතුමා, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සඳහා නව මං සෙවීමේ අපේක්ෂාවෙන් යුතුව, මෑතක දී සිය සැම්බියානු සගයා හමුවිය.

දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සමගාමීව අක්තගන්වන ලද අනෙකුත් රටවල් 09 අතර සැම්බියාව ද වේ. ප්‍රිටෝරියා හි සැම්බියානු මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජැක්සන් මිටි මැතිතුමා සමඟ පැවති සාකච්ඡාවේ දී, ශ්‍රී ලංකාව සහ සැම්බියාව අතර පැවති ඓතිහාසික සබඳතා පිළිබඳව මහ කොමසාරිස් අමරසේකර මැතිතුමා අවධාරණය කළේය. තව දුරටත්, අලුතින් තේරී පත් වූ ජනාධිපති හකයින්දේ හිචිලේමා මැතිතුමාගේ නායකත්වය යටතේ උදාවන නව යුගය තුළ, සැම්බියාව සමඟ පැවති ද්විපාර්ශ්වික සබඳතා අලුත් කිරීම පිළිබඳව මහ කොමසාරිස්වරයා අදහස් පළ කළේය.

ඊට ප්‍රතිචාර ලෙස, මෙම සංචාරයේ නිරත වීම වෙනුවෙන් මහ කොමසාරිස් අමරසේකර මැතිතුමාට ස්තූතිය පළ කළ මහ කොමසාරිස් මිටි මැතිතුමා, ශ්‍රී ලංකාව සහ සැම්බියාව අතර සබඳතා වැඩිදියුණු කිරීම සඳහා තම සහයෝගය ලබා දෙන බවට සහතික විය. මෙම සාකච්ඡාවේ දී, දෙපාර්ශ්වයම ව්‍යාපාර සම්බන්ධකම් ඇති විය හැකි ශ්‍රී ලංකාවේ රෙදිපිළි කර්මාන්තය (කපු) සඳහා අමුද්‍රව්‍ය සැපයීම, සැම්බියාවේ කාර්මික උද්‍යානවල ශ්‍රී ලාංකික ආයෝජකයින් සඳහා පවතින ආයෝජන අවස්ථා, ඉදිකිරීම් කර්මාන්තයේ, සෞඛ්‍ය හා අධ්‍යාපන අංශ සහ වෘත්තීය සේවාවල සහභාගීත්වය වැනි අංශ කිහිපයක් හඳුනා ගත්හ. ඊට අමතරව, දෙරට අතර ආර්ථික සහයෝගීතාව සඳහා ශක්තිමත් පදනමක් ඇතිකිරීම පිණිස අවබෝධතා ගිවිසුමක් හැකි ඉක්මනින් ආරම්භ කිරීමට දෙපාර්ශ්වයම එකඟ විය.

ප්‍රිටෝරියා හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සහ සැම්බියානු මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීහු ද මෙම හමුවට සහභාගී වූහ.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ප්‍රිටෝරියා

2021 සැප්තැම්බර් මස 09 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close