පලස්තීන රාජ්‍යය සඳහා ශ්‍රී ලංකාවේ නියෝජිත නාවලගේ බෙනට් කුරේ මහතා පලස්තීන රාජ්‍යයේ ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර පිළිගන්වයි

පලස්තීන රාජ්‍යය සඳහා ශ්‍රී ලංකාවේ නියෝජිත නාවලගේ බෙනට් කුරේ මහතා පලස්තීන රාජ්‍යයේ ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර පිළිගන්වයි

පලස්තීන රාජ්‍යය සඳහා ශ්‍රී ලංකාවේ නියෝජිත නාවලගේ බෙනට් කුරේ මහතා 2021 ඔක්තෝබර් 14 වැනි දින රමල්ලා හි පිහිටි ජනාධිපති මන්දිරයේ දී අභිනව නියෝජිතවරයා විසින් අක්තපත්‍ර පිළිගැන්වීම වෙනුවෙන් සංවිධානය කරන ලද උත්සවයක දී පලස්තීන රාජ්‍යයේ  ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වීය.

ශ්‍රී ලංකාවේ නියෝජිතවරයා ජනාධිපති මන්දිරයේ දී ආචාර පෙළපාළියකින් පිළිගනු ලැබූ අතර, අනතුරුව ජනාධිපති මහ්මූද් අබ්බාස් මැතිතුමා විසින් සාදරයෙන් පිළිගන්නා ලදී.

ශ්‍රී ලංකාවේ නියෝජිතවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුබ පැතුම් ජනාධිපති මහ්මූද් අබ්බාස් මැතිතුමා වෙත පිරිනැමීය. දෙරට අතර පවතින දීර්ඝ කාලීන මිත්‍ර සබඳතා පිළිබඳව මෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ වර්තමානයේ දී ශ්‍රී ලංකාව තුළ  සිදු වෙමින් පවතින සංවර්ධන කටයුතු පිළිබඳව ද ශ්‍රී ලංකාවේ නියෝජිතවරයා ජනාධිපතිතුමාට පැහැදිලි කළේ ය.

පලස්තීන රාජ්‍යය වෙනුවෙන් ද්විපාර්ශ්වික සහ ජාත්‍යන්තර සංසද තුළ දී සහයෝගය දැක්වීම පිළිබඳව ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට ජනාධිපති මහ්මූද් අබ්බාස් මැතිතුමා සිය ස්තුතිය පළ කළේ ය. පලස්තීන රාජ්‍යය තුළ ශ්‍රී ලංකාවේ නියෝජිතවරයා ලෙස සාර්ථක ධූර කාලයක් සඳහා නියෝජිතවරයාට සුබ පැතුම් එක් කළ ජනාධිපතිවරයා, අභිනව නියෝජිතවරයාගේ ධූර කාලය තුළ දී පලස්තීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍ර සබඳතා තවදුරටත් ඉහළ නැංවෙනු ඇති බවට විශ්වාස පළ කළේ ය.

විදේශ කටයුතු සහ විදේශගතවූවන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය රියාද් අල්-මල්කි මැතිතුමා, ජනාධිපති රාජ්‍යතාන්ත්‍රික උපදේශක ආචාර්ය මජ්ඩි අල්-ඛාල්ඩි මහතා සහ ජනාධිපති ආරක්ෂක හමුදා අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් මුනීර් සුබි මහතා යනාදීහු ද මෙම උත්සවය සඳහා සහභාගී වූහ.

සිය අක්තපත්‍ර පිළිගැන්වීමේ උත්සවයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ නියෝජිතවරයා රමල්ලා හි පිහිටි දිවංගත ජනාධිපති යසර් අරෆත් මැතිතුමාගේ සමාධිය වෙත ගොස්, සිය ඉල්ලීම පරිදි ජනාධිපති කාර්යාලය විසින් සූදානම් කරන ලද මල් කළඹක් තබා පුෂ්පෝපහාර දැක්වී ය.

නියෝජිත කාර්යාලය

රමල්ලා

2021 ඔක්තෝබර් 20 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close