නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය ශ්‍රී ලංකාවේ 74 වැනි නිදහස් දින සංවත්සරය සමරයි

නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය ශ්‍රී ලංකාවේ 74 වැනි නිදහස් දින සංවත්සරය සමරයි

නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ 74 වන නිදහස් දින සංවත්සරය නිව්යෝර්ක් නුවර ට්‍රයි-ස්ටේට් ප්‍රදේශයේ දී සමරන ලදි. කොවිඩ්-19 වසංගතය හමුවේ එල්ල වූ අභියෝග හේතුවෙන් මෙම උත්සවය අතථ්‍ය අයුරින් පවත්වන ලදි.

දූත මණ්ඩලයේ නිත්‍ය නියෝජිත, තානාපති මොහාන් පීරිස් මැතිතුමා ජාතික ධජය එසවූ අතර, ඉන් පසුව ජාතික ගීය සහ ජයමංගල ගාථා ගායනා කිරීමෙන් අනතුරුව උත්සවය ආරම්භ ආරම්භ කරන ලදි.

නිව්යෝර්ක් බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජ්‍ය අලුත්ගම ධම්මජෝති හිමි, නිව්යෝර්ක් නුවර උතුරු ඇමරිකානු හින්දු කෝවිල් සංගමයේ ආගමික කටයුතු අධ්‍යක්ෂ ශ්‍රී රවී වෛද්‍යනාත් සිවාචාරියර් පූජකතුමා, උතුරු ඇමරිකාවේ ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව නියෝජනය කළ හිටපු ඉමාම්වරයකු වන මුෆ්ති හිෂාම් නවාස් පූජකතතුමා සහ ශාන්ත බෙදිකාන නිකායට අයත් නිව්ජර්සි හි තාපසාරාමයේ සිල්වෙස්ටර් ජයකොඩි පියතුමා විසින් ආගමික වතාවත් සිදු කරන ලදි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිදහස් දින පණිවුඩය විකාශය කිරීමෙන් අනතුරුව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමාගේ නිදහස් දින පණිවුඩ ප්‍රකාශයට පත් කරන ලදි.

මෙම උත්සවය ඇමතූ නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මැතිතුමා, අපි අපගේම සිහින හඹා යන නිදහස් දේශයක ජනතාවක් වන බවත්, වසර ගණනාවක් පුරා ගොඩනැගුණු මෙම නිදහස ඔස්සේ ඒකාධිපති පාලනයකින් සහ සමාජ සම්මුතීන්වලින් තොර වූ අපගේම අභිමතාර්ථ නිර්මාණය කරගැනීම සඳහා අවකාශය හිමිව ඇති බවත් පැවසී ය. අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පදනම තුළ නිදහස ඔස්සේ අප ලැබූ පාරිශුද්ධ මූලධර්ම ඇතුළත් බවත්, එමගින් අවස්ථාවෙහි ගුණාත්මකභාවය බලාත්මක කිරීම සම්බන්ධයෙන් පවත්නා කැපවීම පිළිඹිබු වන බවත් එතුමා වැඩිදුරටත් පැවසී ය. කිසිවක් මගනොහරිමින් වඩා යහපත් ලෙස වර්ධනය වීම සඳහා මෙම වසංගතය ඔස්සේ නව අවස්ථා නිර්මාණය වී ඇති බව අවධාරණය කළ එතුමා, ජාතියක් වශයෙන් අපට මුහුණ දීමට සිදු වන ඕනෑම අභියෝගයකට මුහුණ දීම සඳහා එඩිතරව නැගී සිටින ලෙස ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා වන බංග්ලාදේශ ජනරජය, භූතාන රාජධානිය, ඉන්දීය ජනරජය, මාලදිවයින් ජනරජය, නේපාලය සහ පාකිස්තාන ඉස්ලාමීය ජනරජය නියෝජනය කළ නිත්‍ය නියෝජිතයින් සිය රජයන් සහ ජනතාව නියෝජනය කරමින් සුබපැතුම් පළ කළ හ.

නිව්යෝර්ක් නුවර ට්‍රයි ස්ටේට් ප්‍රදේශයේ වෙසෙන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ පණිවුඩ ද මෙම උත්සවයට ඇතුළත් කෙරිණි. නිව්යෝර්ක් නුවර වෙසෙන සිංහල ප්‍රජාව නියෝජනය කළ ආචාර්ය විජේ කොට්ටහච්චි මහතා මෙම උත්සවය ඇමතූ අතර, ඉන් අනතුරුව නිව්යෝර්ක් නුවර වෙසෙන දෙමළ ප්‍රජාව නියෝජනය කළ ආචාර්ය කදිරවේල් ඊශ්වර මහතා සිය අදහස් පළ කළේ ය. මුස්ලිම් ප්‍රජාව නියෝජනය කළ අබ්දුල් ෂාහුල්හමීඩ් මහතා මෙම උත්සවය ඇමතූ අතර, නිව්යෝර්ක් ශ්‍රී ලංකා සංගමයේ සභාපති ෂමිස්ට්‍රා නඩරාජා මෙනවිය ද (SLANY) සිය අදහස් පළ කළා ය.

කිරිබත් සහ අනෙකුත් සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික රසකැවිලි අනුභව කිරීමෙන් අනතුරුව මෙම උත්සවය අවසන් කෙරිණි.

https://youtu.be/f8SVY_drDaw යන සබැඳිය ඔස්සේ මෙම සම්පූර්ණ වැඩසටහන නැරඹිය හැකි ය.

නිත්‍ය නියෝජිත තානාපති මොහාන් පීරිස් මැතිතුමාගේ දේශනය https://youtu.be/35jfJE9G2hk යන සබැඳිය ඔස්සේ නැරඹිය හැකි ය.

 

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය

නිව්යෝර්ක්

2022 පෙබරවාරි 08 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close