න්‍යාය පත්‍රය 2: මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව පිළිබඳ අන්තර්ක්‍රියාකාරී සංවාදය ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ (A/HRC/46/20) 2021 පෙබරවාරි 24 වැනි දින ගරු විදේශ අමාත්‍යතුමාගේ ප්‍රකාශය

න්‍යාය පත්‍රය 2: මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව පිළිබඳ අන්තර්ක්‍රියාකාරී සංවාදය ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ (A/HRC/46/20) 2021 පෙබරවාරි 24 වැනි දින ගරු විදේශ අමාත්‍යතුමාගේ ප්‍රකාශය

සභාපතිතුමියනි,
මහ කොමසාරිස්තුමියනි,
තානාපතිවරුනි,
නෝනාවරුණි මහත්වරුණි,

අද ඉදිරිපත් කරන ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව,  පසුගිය වසරේ දී පැවති මෙම කවුන්සිලයේ 43 වන සැසියේ දී ශ්‍රී ලංකා රජය සම අනුග්‍රාහකත්වය ඉල්ලා අස්කර ගන්නා බව නිවේදනය කරන ලද 30/1 සහ 40/1 යෝජනාවලින් ඇරඹෙන්නකි.

ඕනෑම ස්වයං-ගෞරවයක් සහිත ස්වෛරී රටක පාලනය පිළිබඳ කරුණු සහ මූලික වශයෙන් දේශීය කරුණු ඇතුළත් කරමින්, අසාධාරණ ලෙස තම විෂය පථය සහ වරම පුළුල් කර ඇති මහ කොමසාරිස්වරියගේ වාර්තාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි. මෙය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 2 (7) වගන්තිය වන “වර්තමාන ප්‍රඥප්තියේ අඩංගු කිසිවක් මඟින් කිසිදු රාජ්‍යයක දේශීය අධිකරණ බලය තුළ පවතින කාරණාවලට මැදිහත් වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට බලය පවරන්නේ නැත.” යන්න සම්පූර්ණයෙන් උල්ලංඝනය කිරීමකි.

නිර්දේශ සහ නිගමන සම්බන්ධයෙන් මතුවී ඇති ගමන් මඟ, ශ්‍රී ලංකාවට එරෙහි ඇතැම් කොටස් විසින් නිර්දය ලෙස ලුහුබඳිනු ලබන පූර්ව නිගමනය, දේශපාලනීකරණය සහ අගතිගාමී න්‍යාය පත්‍රය පිළිබිඹු කරයි. වැරදි ලෙස ගොඩනංවන ලද චෝදනා මත මෙම නිර්දේශ පදනම් වී ඇත.

මහ කොමසාරිස් වාර්තාවේ අඩංගු නිගමන සහ නිර්දේශ ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරයි.

විශේෂයෙන් එක්සත් ජාතීන් හා එහි යාන්ත්‍රණයන් සමඟ නිරතුරුව හා ඵලදායී ලෙස සම්බන්ධ වී සිටින ශ්‍රී ලංකාව වැනි රටක් සම්බන්ධයෙන් ගත් කල, වත්කම් අත්හිටුවීම, සංචාරක තහනම් පැනවීම, ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත යොමු කිරීම සහ එක් එක් රාජ්‍යයන් විසින් විශ්වීය අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම සඳහා කෙරෙන ඉල්ලීම්, මහ කොමසාරිස් කාර්යාලය විසින් මේ දක්වා ප්‍රවේශය ලබා දීම ප්‍රතික්ෂේප කොට ඇති සහ ඒවායින් සමහරක් වසර තිහක් තිස්සේ නිකුත් නොකොට රඳවා ගෙන ඇති සාක්ෂි මත පදනම් වන අතර, ජාත්‍යන්තර ප්‍රජාව විසින් සමස්තයක් වශයෙන් සැලකිල්ලට ගත යුතු පැහැදිලි හා සුවිශේෂී අනතුරක් පෙන්වා දෙයි. ඇතැම් රටවල් විසින් සිදුකරනු ලබන එවැනි ඒකපාර්ශ්වික ක්‍රියා පිළිගත නොහැකි අතර, එය ස්වාභාවික යුක්තියේ මූලධර්ම උල්ලංඝනය කිරීමකි.

පසුගිය මාර්තු මාසයේ සිට ලබා ඇති ප්‍රගතියට අමතරව, වාර්තාවේ අඩංගු වැරදි තොරතුරු, වැරදි වැටහීම් සහ අත්තනෝමතික තක්සේරු කිරීම් පිළිබඳව ශ්‍රී ලංකාව ලිඛිත අදහස් දැක්වීම් ලබා දී ඇත.

ඒ පිළිබඳව පෙර නොවූ විරූ ප්‍රචාරක ව්‍යාපාරයක් සමඟින්, මහ කොමසාරිස් කාර්යාලය සිය වාර්තාව ප්‍රකාශයට පත් කිරීම සහ එම වාර්තාව පිළිබඳ අපගේ අදහස් අතිරේකයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම ප්‍රතික්ෂේප කිරීම කනගාටුවට කරුණකි. මෙමඟින් වාර්තාව පිළිබඳ ශ්‍රී ලංකාවේ අදහස් සම්බන්ධයෙන් සමාන දෘශ්‍යතාවක් ලබා ගැනීම, ශ්‍රී ලංකාවට සහ සාමාජික රටවලට අහිමි වී ඇත.

මීට පෙර මෙම කවුන්සිලය වෙත පැහැදිලි කරන ලද හේතු මත ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කර ඇති වගවීම පිළිබඳ විශේෂඥ කමිටුවේ (PoE) අතිශය විවාදාත්මක වාර්තාව සහ ශ්‍රී ලංකාව පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ විමර්ශන වාර්තාව (OISL) තුළින් ප්‍රතිනිෂ්පාදනය කර ඇති මහ කොමසාරිස් වාර්තාවේ අඩංගු චෝදනා ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි.

ඉහත මතභේදාත්මක වාර්තාවලින් උකහා ගත් මෙම වාර්තාවේ අන්තර්ගතය, ජාත්‍යන්තර වශයෙන් තහනම් කර ඇති ත‍්‍රස්තවාදී සංවිධානයක් වන එල්ටීටීඊය විසින් සිදුකරන ලද හිංසාවන්, රටේ භෞමික අඛණ්ඩතාව සහ අපේ ජනතාවගේ ජීවන අයිතිය ආරක්ෂා කිරීම සඳහා රජය විසින් ගෙන ඇති නීත්‍යානුකූල පියවර සමඟ සමාන කොට දක්වන සාවද්‍ය කරුණුවලින් පිරී තිබේ.

සභාපතිතුමියනි,

මෙම කවුන්සිලය සහ සියලුම එක්සත් ජාතීන්ගේ සංවිධාන සමඟ අපගේ අඛණ්ඩ සහයෝගය සහ සම්බන්ධතාවය තිබියදීත්, නිරන්තරයෙන් ව්‍යාප්ත වන බාහිරයෙන් පාලනය කරනු ලබන උපදෙස් පිළිබඳව අවධාරණය කිරීම, අභියෝග රැසක් ඇති කළ හැකි අතර එවැනි ක්‍රියාදාමයන් එක්සත් ජාතීන්ගේ සියලුම සාමාජික රටවලට බලපාන භයානක පූර්වාදර්ශයක් විය හැකිය.

දේශපාලන අභිප්‍රේරණයන් විසින් මෙහෙයවනු ලැබ, මෙම කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන අසමාන අවධානය පිළිබඳව අපි කනගාටු වෙමු. මෙම වාර්තාව පදනම් කරගත් ඕනෑම යෝජනාවක් මෙම කවුන්සිලය විසින් ප්‍රතික්ෂේප කොට එය අවසානයක් කරා ගෙන එන ලෙස ශ්‍රී ලංකාව මෙම කවුන්සිලයේ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටී.

අවසන් වශයෙන්,

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සහ දේශීය ප‍්‍රමුඛතා සහ ප‍්‍රතිපත්තිවලට අනුකූලව, මෙම කවුන්සිලය ද ඇතුළුව එක්සත් ජාතීන් සමඟ සහ අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ අංශවල දී ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ඵලදායි ලෙස සම්බන්ධ වීම සඳහා අපි විවෘතව සිටිමු.

අයුබෝවන්

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close