නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය එහි  දිගු කාලයක් සේවය කළ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට උපහාර දක්වමින් දීපවාලි උත්සවය සමරයි

නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය එහි  දිගු කාලයක් සේවය කළ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට උපහාර දක්වමින් දීපවාලි උත්සවය සමරයි

නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, එහි දීර්ඝ කාලයක් මුළුල්ලේ සේවය කරන ඉන්දියානු කාර්ය මණ්ඩල සාමාජිකයන්ට උපහාර දක්වමින් සහ 150ක් පමණ වූ සියරට පේරුවේ සහ දේශීය  කාර්ය මණ්ඩලයේ පවුල්වල සාමාජිකයන් සඳහා පවුලේ සුහද හමුවක් සංවිධානය කිරීම හරහා මෙම වසරේ දීපවාලි උත්සවය සැමරී ය. මෙම උපහාර උත්සවය සහ පවුලේ සුහද හමුව නොවැම්බර් 05 වැනි දින මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේ පිහිටි උද්‍යානයේ පවත්වන ලදී.

මහ කොමසාරිස් කාර්යාලය, දිගු කලක් මුළුල්ලේ එහි සේවය කළ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට උපහාර දක්වමින් දීපවාලි උත්සවය අඛණ්ඩව සැමරූ දෙවැනි අවස්ථාව මෙය විය. පසුගිය වසරේ ද, දීර්ඝ කාලයක් සේවය කළ කාර්ය මණ්ඩල සාමාජිකයන් පස් දෙනෙකුට උපහාර දක්වමින් සහ පවුලේ සුහද හමුවක් පැවැත්වීම මඟින් මහ කොමසාරිස් කාර්යාලය විසින් දීපවාලි උත්සවය සමරන ලදී.

ළමුන් සහ පවුල් සඳහා දීපවාලි තෑගි බෙදා දීම, දීපවාලි පහන් දැල්වීම සහ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීම යනාදිය මෙවර දීපවාලි උත්සවයට ඇතුළත් විය. මෙම උත්සවය වර්ණවත් කරමින් කාර්ය මණ්ඩලයේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ දස්කම් ඇතුළත් කුසලතා සංදර්ශනයක් පැවැත්වීම, මෙහි විශේෂත්වයක් විය.

සියරට පේරුවේ කාර්ය මණ්ඩලය සහ දේශීය කාර්ය මණ්ඩලය අතර සුහදත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සහ විශේෂයෙන්ම වසර විසිපහකට අධික කාලයක් මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කළ ඉන්දීය කාර්ය මණ්ඩල සාමාජිකයන් ලබා දෙන සේවය ඇගයීම හා ඊට උපහාර දැක්වීම සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමාගේ මගපෙන්වීම සහ පූර්ණ අනුග්‍රහය යටතේ මෙම උත්සවය සංවිධානය කරන ලදී.

ඒ අනුව, මහ කොමසාරිස් කාර්යාලය තුළ වසර විසිපහකට අධික කාලයක් සේවය කළ ඉන්දීය කාර්ය මණ්ඩල සාමාජිකයන් පස් දෙනෙකුට මෙහිදී උපහාර දක්වන ලදී. තවද, ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සහය ලබා ගත් මහ කොමසාරිස්වරයා, මෙලෙස දීර්ඝ කාලයක් මුළුල්ලේ සේවය කරන කාර්ය මණ්ඩල සාමාජිකයන් පස්දෙනාට සහ ඔවුන්ගේ කලත්‍රයන්/පවුලේ සාමාජිකයන්ට රාත්‍රී පහක් ඇතුළත් නිවාඩුවක් සහිත ශ්‍රී ලංකා සංචාරයක් සඳහා කටයුතු සම්පාදනය කොට ඇත. පවුලේ හමුව පැවති අවස්ථාවේ දී මේ සම්බන්ධයෙන් නිවේදනය කරන ලදී.

මහ කොමසාරිස්වරයා සමඟ මෙම අවස්ථාවට සම්බන්ධ වූ ජෙනිෆර් මොරගොඩ මහත්මිය, දරුවන්ට දීපවාලි තෑගි බෙදා දීම සහ දීර්ඝ කාලයක් මුළුල්ලේ සේවය කළ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට උපහාර දැක්වීම සඳහා සහභාගී වූවා ය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නවදිල්ලිය

2022 නොවැම්බර් 10 වැනි දින

ptr

Print Friendly, PDF & Email
Please follow and like us:

Close