දකුණු ඉන්දියාවේ චිත්‍රපට රූගත කිරිමේ ගමනාන්තය ශ්‍රී ලංකාව වේවි ද?

දකුණු ඉන්දියාවේ චිත්‍රපට රූගත කිරිමේ ගමනාන්තය ශ්‍රී ලංකාව වේවි ද?

ඉන්යාදියානු චිත්‍රපට රූගත කිරීමේ ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරිම සම්බන්ධයෙන් දකුණු ඉන්දියාවේ කර්මාන්ත වෘත්තිකයන් සමඟ විශේෂ සාකච්ඡාවක් ඉකුත්දා පැවැත්විණ. ආර්ථිකය නංවාලීම සඳහා ව්‍යාපාරික අවස්ථා සලසා ගැනීම පිණිස ශ්‍රී ලාංකික රාජ්‍යතාන්ත්‍රික නිලධාරීහු දකුණු ඉන්දියාවේ නීති, චිත්‍රපට සහ ආයෝජන අංශවල  වෘත්තිකයන් සමඟ මෙම  අන්තර්ක්‍රියා සැසිය සංවිධානය කර තිබුණි. මෙම සැසියේ පරමාර්ථය වූයේ ශ්‍රී ලංකාවේ පවත්නා ව්‍යාපාරික හා ආයෝජන අවස්ථා පිළිබඳව එම වෘත්තිකයන් දැනුවත් කිරීමයි.

චෙනනායි වැඩබලන නියෝජ්‍ය මහ කොමසාරිස් කේ. කිරිතරන් මහතා වෘත්තිකයන් සාදරයෙන් පිළිගනිමින්, ශ්‍රී ලංකාව සමඟ ව්‍යාපාර කිරීමේ වැදගත්කම අවධාරණය කළ අතර, ශ්‍රී ලංකාව සුවිශේෂී ලෙස ඉන්දියාවේ දකුණු ප්‍රදේශයට ආසන්නව පැවතීම නිසා පිරිවැය වාසි ලබා ගත හැකි බව පැවසීය.

සිය ආරම්භක අදහස් දැක්වීමෙන් අනතුරුව, නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ තුන්වැනි ලේකම් (වාණිජ) දිලංග හෙට්ටිආරච්චි මහතා ශ්‍රී ලංකාවේ වෙළඳ, ආයෝජන සහ සංචාරක අවස්ථා පිළිබඳව සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් කළ අතර, ඉන්දු-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම (ISFTA) යටතේ ලබා දෙන සහන පිළිබඳව ද අවධාරණය කළේය.

සාකච්ඡාව අතරතුර දී, දූත මණ්ඩල නිලධාරීහු චිත්‍රපට නිෂ්පාදනය සඳහා ඇති අවස්ථාවන් සහ ඉඩ ප්‍රස්ථා පිළිබඳව ගවේෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියහ. මෙම ඉල්ලීම පිළිගත් දෙමළ සිනමා කර්මාන්තයේ නැගී එන ක්‍රියාකාරිකයෙකු වන බී.ඊ. විජිත් මහතා, වාණිජ ගුවන් ගමන් සඳහා ගුවන්තොටුපළ නැවත ආරම්භ කිරීමෙන් පසුව අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකයින් සහ කීර්තිමත් පුද්ගලයින්ගෙන් සමන්විත චිත්‍රපට වෘත්තිකයන් කණ්ඩායමක් සමඟ ශ්‍රී ලංකාවට පැමිණීමට අදහස් කරන බව අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ රූපවාහිනී නාලිකා වෘත්තිකයන්, චිත්‍රපට නිෂ්පාදකයින් සහ අධ්‍යක්ෂවරුන් හමුවීම සඳහා ද ඔහු උනන්දුවක් දක්වන බව පවසා සිටියේය.

තවද, ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ කේ.කේ. ශිවශාන්මුගම් මහතා, දූත මණ්ඩලයට නීතිමය සහාය අවශ්‍ය වූ විට ඔවුන්ගේ උපදෙස් නොමසුරුව ලබා දීමට කැමැත්ත පළ කළේය. වැඩබලන නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ඔවුන්ගේ සංචාරය සඳහා පහසුකම් සැලසීමට එකඟ වූ අතර, සහභාගිවන්නන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා පෙළඹවීය.

ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය
චෙන්නායි

2021 ජනවාරි 11 වැනි දින

  

Print Friendly, PDF & Email
Please follow and like us:

Close