දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර ව්‍යාපාරික සබඳතා දියුණු කරන්නට පියවර ගැනේ

දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර ව්‍යාපාරික සබඳතා දියුණු කරන්නට පියවර ගැනේ

දකුණු අප්‍රිකාව සමඟ පවතින ව්‍යාපාරික සබඳතා සහ සංස්කෘතික වැඩසටහන් වැඩි දියුණු කිරීම සඳහා දකුණු අප්‍රිකාවේ ඩර්බන් නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් සහ වෘත්තිකයන් ගේ කාර්යභාරය  පිළිබඳව  එරට සිටින ශ්‍රී ලංකා තානාපති එස්.සිරිසේන අමරසේකර  මහතා ඔවුන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය. ඩර්බන් හි හිටපු ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් සහ සෙරන්ඩිපිටි ටුවර්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ ලාල් ජයමහ මහතා විසින් මෙම සාකච්ඡාව සංවිධානය කෙරිණ.

ඩර්බන් නගරය, දකුණු අප්‍රිකාවේ නැගෙනහිර වෙරළ තීරයේ මුහුණලා පිහිටා තිබේ. ඉන්දියානු සාගරයට මුහුණලා පිහිටි ස්වාභාවික වරායක් ඩර්බන් සතුව ඇති අතර, එය අප්‍රිකානු මහාද්වීපයේ කාර්යබහුලම ස්ථානයකි. නව රැකියා හා ව්‍යාපාරික අවස්ථා අපේක්ෂාවෙන් ඩර්බන් වෙත සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයෝ දැන් ඩර්බන් හි පදිංචි වී සිටිති.

ස්වදේශික දකුණු අප්‍රිකානුවන් සහ ඉන්දු-අප්‍රිකානුවන් සමඟ සහයෝගයෙන් යුතුව ඩර්බන් හි ශ්‍රී ලාංකික ප්‍රජාව අපගේ සංස්කෘතික සබඳතා සහ වෙළඳාම ප්‍රවර්ධනය කිරීම පිළිබඳව මහ කොමසාරිස් අමරසේකර මැතිතුමා අගය කල අතරම දෙරට අතර සමාජ ආර්ථික හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

ශක්තිමත් ප්‍රජාවක් ලෙස සංවිධානාත්මකව කටයුතු කිරීමට සම්බන්ධතා ඇති කර ගැනීමටත්, ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සමඟ ඍජුව ගනුදෙනු කරන ලෙසටත් මහ කොමසාරිස් අමරසේකර මැතිතුමා තවදුරටත්  ශ්‍රී ලාංකික ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ප්‍රිටෝරියා

2021 ජූලි 01 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close