දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අමරසේකර මැතිතුමා බොට්ස්වානා ජනරජයේ ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අමරසේකර මැතිතුමා බොට්ස්වානා ජනරජයේ ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සිරිසේන අමරසේකර මැතිතුමා විසින් බොට්ස්වානා ජනරජයේ ජනාධිපති ආචාර්ය මොක්ග්වීට්සි එරික් කීබෙට්ස්වේ මැසිසි මැතිතුමා වෙත බොට්ස්වානා හි අගනුවර වන ගැබොරෝන් හිදී බොට්ස්වානා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස අක්තපත්‍ර පිළිගන්වන ලදි. බොට්ස්වානා යනු දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය යටතේ අක්ත ගන්වන ලද රටවල් 9 න් එකක් වන අතර එය ශ්‍රී ලාංකික වෘත්තිකයන් විශාල පිරිසක් සේවය කරන දකුණු අප්‍රිකානු රටවලින් එකකි.

මෙම උත්සවය අතරතුර දී බොට්ස්වානා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් (නම් කළ) සිරිසේන අමරසේකර මැතිතුමා බොට්ස්වානා හි නව මහ කොමසාරිස්වරයා (නම් කළ) ලෙස බොට්ස්වානා හි ජාත්‍යන්තර කටයුතු සහ සහයෝගිතා අමාත්‍ය ආචාර්ය ලෙමොන්ගාන් ක්වාපේ මැතිතුමා විසින් බොට්ස්වානා ජනාධිපතිවරයා වෙත හඳුන්වා දෙන ලදි. අනතුරුව මහ කොමසාරිස් අමරසේකර මැතිතුමා බොට්ස්වානා ජනාධිපතිවරයා වෙත ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සුබපැතුම් පිරිනැමීය.

අක්තපත්‍ර පිළිගැන්වීමෙන් අනතුරුව බොට්ස්වානා ජනාධිපතිවරයා නව මහ කොමසාරිස්වරයා සමඟ විනාඩි 20ක පමණ කාලයක් ඉතා සුහද පිළිසඳරක නිරත විය. මෙම හමුව අතරතුර දී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ විදේශ ප්‍රතිපත්තිය තුළ අප්‍රිකානු කලාපයට නිසි පිළිගැනීමක් ලබාදීම සම්බන්ධයෙන් බොට්ස්වානා ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත සිය කෘතඥතාව පළ කළ අතර ශ්‍රී ලංකාව සහ බොට්ස්වානා අතර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අවධානය යොමු කළේය. මිත්‍රශීලී රටක් ලෙස පොදු සංසදවල දී ශ්‍රී ලංකාවේ දිගු කාලීන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමවේදය සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා බොට්ස්වානා රාජ්‍යය තුළ පවත්නා කැපවීම පිළිබඳව ද ඔහු සඳහන් කළේය. තවද එතුමා ජාතීන් දෙක අතර පවත්නා සමාජ-ආර්ථික හා සංස්කෘතික සබඳතාව ප්‍රවර්ධනය කිරීමට හැකි උපරිම මට්ටමෙන් දායක වන ලෙස නව මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියේය.

මහ කොමසාරිස් අමරසේකර මැතිතුමා රාජ්‍ය සේවයේ 50 වසරකට අධික අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකි. 1970 වසරේ දී සැලසුම් හා රැකියා අමාත්‍යංශයේ සේවයට බැඳුණු එතුමා අග්‍රාමාත්‍යවරයාගේ ලේකම්වරයා වශයෙන් මෙන්ම අමාත්‍යංශ කිහිපයක ලේකම්වරයා ලෙස වසර 20කට අධික කාලයක් කටයුතු කර ඇති අතර දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත්වීමට පෙර අමාත්‍ය මණ්ඩලයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කර ඇත. මහ කොමසාරිස් අමරසේකර මැතිතුමාගේ අක්තපත්‍ර පිළිගැන්වීමේ උත්සවය සඳහා එතුමාගේ භාර්යාව වන හේමා අමරසේකර මහත්මිය සහ අමාත්‍ය උපදේශිකා ප්‍රියංගනී හේවරත්න මහත්මිය යනාදීහු ද එක්ව සිටියහ.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ප්‍රිටෝරියා

2021 නොවැම්බර් මස 15 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close