තුර්කියේ හටගත් භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලාංකිකයකු ජීවිතක්ෂයට පත් වේ

තුර්කියේ හටගත් භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලාංකිකයකු ජීවිතක්ෂයට පත් වේ

පෙබරවාරි 6 වැනි දින තුර්කියේ අග්නිදිග වර්ග කිලෝමීටර් 110,000 කට අධික ප්‍රදේශයකට හානි පමුණුවමින්,  රටවල් රැසක පුද්ගලයන් දහස් ගණනකගේ ජීවිත හා දේපළවලට විශාල හානියක් එල්ල කළ දැවැන්ත භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලාංකිකයකු ද අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්විය.

මෙම ව්‍යසනකාරී භූ කම්පනයෙන් පසුව ද තුර්කියේ අග්නිදිග කලාපය තුළ 2000කට  අධික පසු කම්පන සංඛ්‍යාවක් හටගෙන ඇති අතර, ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 29,605 දක්වා ඉහළ ගොස් ඇත. 80,278 දෙනෙකු තුවාල ලබා ඇත. මෙම වාතාවරණය හමුවේ තුර්කියේ ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩොගන් මැතිතුමා ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා, තුර්කියේ වෙසෙන ජනතාව දැඩි ශෝකයෙන් පසුවන මෙම මොහොතේ දී හැකි සෑම සහයෝගයක්ම ඔවුන් වෙනුවෙන් ලබා දීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බව ප්‍රකාශ කළේ ය.

භූ කම්පනයෙන් සහ පසු කම්පනවලින් හානි එල්ල වූ ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් දහසය දෙනාගේ සුබසාධනය පිළිබඳව සොයා බැලීමට අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුර්කි බලධාරීන් සමඟ සම්බන්ධීකරණය වී කටයුතු කරයි. තානාපති කාර්යාලයට සම්බන්ධ කර ගත හැකි වූ ශ්‍රී ලාංකිකයන් 15 දෙනා නිරුපද්‍රිතව සිටින බව තහවුරු වී ඇති අතර, තුර්කියේ අන්ටාක්යා පළාතේ හටේ හි විසූ ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදන්ව ඇතැයි වාර්තා විය. අතුරුදන් වූ එම ශ්‍රී ලාංකිකයා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව තහවුරු කරගැනීමට තානාපති කාර්යාලයට හැකි විය. එම පුද්ගලයාගේ අභාවය සම්බන්ධයෙන් තානාපති කාර්යාලය සිය කනගාටුව පළ කර සිටියි.  ජීවිතක්ෂයට පත් වූ ශ්‍රී ලාංකිකයාගේ අනන්‍යතාව එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන්ගේ ඉල්ලීම මත අනාවරණය නොකෙරේ. ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයාගේ මෘත දේශය තුර්කි සෞඛ්‍ය බලධාරීන් විසින් පනවන ලද රෙගුලාසිවලට අනුකූලව මේ වන විට අන්ටාක්යා පළාතේ හටේහි දී භූමදාන කර ඇත.

මෙම අභාවය හේතුවෙන් සංවේගයට  පත් දියණිය සහ පවුලේ අනෙකුත් සාමාජිකයන් වෙත විදේශ කටයුතු අමාත්‍යංශය සිය බලවත් ශෝකය ප්‍රකාශ කර සිටියි.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 පෙබරවාරි 14 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close