තැලසීමියා පදනම සහ තායිලන්තයේ සියම් ජෛව විද්‍යා සමූහය ත්‍රිත්ව රුධිර මලු 5000ක් සහ ෆිල්ග්‍රාස්ටිම් බෝතල් 750ක් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කරයි

තැලසීමියා පදනම සහ තායිලන්තයේ සියම් ජෛව විද්‍යා සමූහය ත්‍රිත්ව රුධිර මලු 5000ක් සහ ෆිල්ග්‍රාස්ටිම් බෝතල් 750ක් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කරයි

තැලසීමියා පදනමේ කමිටුවේ ළමා රෝග පිළිබඳ මහාචාර්ය සහ තැලසීමියා පර්යේෂණ වැඩසටහනේ අධ්‍යක්ෂ සහ සීමාසහිත ඒ.ටී. ජීන්ස් (ATGenes) සමාගමේ සභාපති වන මහාචාර්ය විප් විප්‍රකසිත් මහතා 2022 ජූලි 6 වැනි දින බැංකොක් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා නිත්‍ය දූත මණ්ඩල පරිශ්‍රයේ දී තායිලන්ත රාජධානියේ ශ්‍රී ලංකා තානාපතිනි සහ යුනෙස්කැප් හි නිත්‍ය නියෝජිතවරිය සී. ඒ. චාමින්දා අයි. කොළොන්නේ මැතිනිය වෙත තායි බාත් මිලියන 1,0173,79 ක වටිනාකමින් යුත් ත්‍රිත්ව රුධිර මලු 5000 ක් සහ ෆිල්ග්‍රාස්ටිම් බෝතල් 750 ක් භාර දුන්නේය.

ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් සිය අදහස් පළ කළ තානාපති චාමින්දා කොළොන්නේ මැතිනිය, ශ්‍රී ලංකා රජය ඉල්ලා සිටි අත්‍යවශ්‍ය රුධිර මලු සාර්ථක අයුරින් පරිත්‍යාග කිරීම සඳහා වෙහෙස වූ මහාචාර්ය විප් විප්‍රකසිත් මහතා සහ එතුමාගේ කණ්ඩායම වෙත සිය අවංක ප්‍රණාමය පුද කළා ය. ශ්‍රී ලංකාව ද ඇතුළුව සමස්ත මානව වර්ගයා වෙනුවෙන් තායිලන්තයේ තැලසීමියා පදනම සීමා මායිම්වලින් තොරව සලසන සේවය ශ්‍රී ලංකා රජය සැමවිටම ඉතා අගය කරන බවද තානාපතිනිය ප්‍රකාශ කළාය. තායිලන්තයේ තැලසීමියා පදනමට ලබා දෙන අනුග්‍රහය සහ ත්‍යාගශීලීත්වය වෙනුවෙන් රාජකීය සොම්සාවලී කුමරිය වෙත තානාපතිනිය සිය අවංක කෘතඥතාව පළ කළාය. ශ්‍රී ලංකාවේ ජනතාව සඳහා අතිරේක වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කිරීම පිළිබඳව “සියම් ජෛව විද්‍යා සමූහයට” ද තානාපතිනිය සිය ස්තූතිය පුද කළාය.

සිය අදහස් පළ කළ මහාචාර්ය විප් විප්‍රකසිත් මහතා, දෙරට අතර පවත්නා ථෙරවාද බෞද්ධ සාරධර්ම මත පදනම් වූ දීර්ඝ කාලීන විශිෂ්ට සබඳතා පිළිබඳව සිහිපත් කළේය. තායිලන්ත තැලසීමියා පදනම ශ්‍රී ලංකා තැලසීමියා මධ්‍යස්ථානය සහ එහි අධ්‍යක්ෂ මහාචාර්ය අනුජ ප්‍රේමවර්ධන මහතා සමඟ පවත්නා සමීප සබඳතා පිළිබඳව ඉස්මතු කළ මහාචාර්ය විප් විප්‍රකසිත් මහතා, මෙම පරිත්‍යාගය තායිලන්ත ජනතාව ශ්‍රී ලංකාවාසීන්ට පිරිනමන ත්‍යාගයක් ලෙස හැඳින්වූ අතර, “අවශ්‍ය මොහොතේ දී පිහිටට එන්නේ සැබෑ මිතුරා ය” යන පාඨය ගෙනහැර දැක්වී ය. තායිලන්තයේ තැලසීමියා පදනම රක්ත විශේෂඥයන්, හෙදියන්, වෛද්‍ය තාක්ෂණවේදීන්, විද්‍යාඥයන්, දෙමාපියන් සහ තැලසීමියා රෝගීන් පිරිසක් විසින් 1989 ජූලි 24 වැනි දින පිහිටුවන ලදි.

ඖෂධ කර්මාන්තය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කරන ලෙස තානාපතිනිය යොමු කළ ඇරයුම සියම් ජෛව විද්‍යා සමූහයට අයත් සීමාසහිත ඇපෙක්සෙලා (Apexcela) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තවචායි පිසෙට්කුල් මහතා විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. තායිලන්තයේ ප්‍රථම සහ එකම ජෛව ඖෂධ නිෂ්පාදකයා වන සීමාසහිත සියම් ජෛව විද්‍යා සමාගම දිවංගත නව වැනි රාම රජු තායි ජනතාවගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම වෙනුවෙන් ආරම්භ කරන ලද මෙහෙවර ආරක්ෂා කරමින් ඉදිරියට ගෙන යාම සඳහා 2009 වර්ෂයේ දී ස්ථාපිත කරන ලදි.

තැලේසිමියා පදනමේ උප සභාපති සයිපින් ෆහොලියෝතින්, කැසෙට්සාර්ට් විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ සහකාර මහාචාර්ය සහ සීමාසහිත ඒ.ටී. ජීන්ස් සමාගමේ උප සභාපති අරී තයනනුෆට්, සීමාසහිත ඒ.ටී. ජීන්ස් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී පසරේ ටන්ෆයිසිට්ර් සහ සීමාසහිත ඇපෙක්සලා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තවචායි පිසෙට්කුල් යන මහත්ම මහත්මීහු මෙම පරිත්‍යාගය භාරදීමේ අවස්ථාව සඳහා සහභාගී වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා නිත්‍ය දූත මණ්ඩලය

බැංකොක්

2022 ජූලි 13 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close