තායිලන්තයේ උසස් අධ්‍යාපන, විද්‍යා, පර්යේෂණ සහ නවෝත්පාදන අමාත්‍ය මහාචාර්ය (ආචාර්ය) අනෙක් ලඕතමටස් මැතිතුමා ද්විපාර්ශ්වික සහයෝගීතාව වේගවත් කරන බවට ශ්‍රී ලංකා නියෝජිතවරිය හමුවේ සහතික වෙයි

තායිලන්තයේ උසස් අධ්‍යාපන, විද්‍යා, පර්යේෂණ සහ නවෝත්පාදන අමාත්‍ය මහාචාර්ය (ආචාර්ය) අනෙක් ලඕතමටස් මැතිතුමා ද්විපාර්ශ්වික සහයෝගීතාව වේගවත් කරන බවට ශ්‍රී ලංකා නියෝජිතවරිය හමුවේ සහතික වෙයි

තායිලන්ත රාජධානියේ ශ්‍රී ලංකා තානාපති සහ ආසියා පැසිෆික් කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසමේ (UNESCAP) නිත්‍ය නියෝජිත සී.ඒ. චාමින්දා අයි. කොළොන්නේ මැතිනිය 2022 මාර්තු 07 වැනි දින, තායිලන්තයේ උසස් අධ්‍යාපන, විද්‍යා, පර්යේෂණ සහ නවෝත්පාදන අමාත්‍යාංශයේ දී තායිලන්තයේ උසස් අධ්‍යාපන, විද්‍යා, පර්යේෂණ සහ නවෝත්පාදන අමාත්‍ය මහාචාර්ය (ආචාර්ය)අනෙක් ලඕතමටස් මැතිතුමා හමුවූවා ය.

ශ්‍රී ලංකාව සමඟ පවත්නා දීර්ඝ කාලීන විශිෂ්ට සබඳතා පිළිබඳව සිහිපත් කළ අමාත්‍ය මහාචාර්ය (ආචාර්ය) ලඕතමටස් මැතිතුමා, තානාපති චාමින්දා කොළොන්නේ මැතිනිය උණුසුම් ලෙස පිළිගත් අතර, තායිලන්තයේ උසස් අධ්‍යාපන, විද්‍යා, පර්යේෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයේ විෂය පථය යටතේ අත්සන් කරන ලද ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් කඩිනමින් ක්‍රියාවට නැංවීම තුළින් ද්විපාර්ශ්වික සහයෝගීතාව වේගවත් කරන බවට සහතික විය.

ප්‍රධාන වශයෙන් වෛද්‍ය ක්ෂේත්‍රය, ඉංජිනේරු ක්ෂේත්‍රය, වෘත්තීය පුහුණුව සහ භාෂා පුහුණුව යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පැවැත්විය හැකි අනාගත සහයෝගීතාව පිළිබඳව ද දෙදෙනා වැඩිදුරටත් සාකච්ඡා කළහ.

අන්‍යෝන්‍ය වශයෙන් පහසු වේලාවක ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස තානාපති චාමින්දා කොළොන්නේ මැතිනිය සිදු කළ ආරාධනය මහාචාර්ය (ආචාර්ය) අනෙක් ලඕතමටස් මැතිතුමා ඉතා උණුසුම් ලෙස පිළිගත්තේ ය.

නිත්‍ය ලේකම් මහාචාර්ය සිරිරුර්ග් සොංසිවිලයි මහතා, උසස් අධ්‍යාපන, විද්‍යා, පර්යේෂණ සහ නවෝත්පාදන අමාත්‍යාංශයේ නියෝජ්‍ය ස්ථිර ලේකම් සහකාර මහාචාර්ය පසිට් ලොර්ටරාපොන්ග් මහතා,  රංග්සිට් විශ්වවිද්‍යාලයේ රාජ්‍යතාන්ත්‍රික හා ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයේ පීඨාධිපති මහාචාර්ය සොම්පොංග් සංගුඅන්බුන් මහතා සහ බැංකොක්හි ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ පළමු ලේකම් සාරිතා රණතුංග මහත්මිය මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා නිත්‍ය දූත මණ්ඩලය

බැංකොක්, තායිලන්තය

2022 මාර්තු 11 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close