තානාපති සී. ඒ. චාමින්දා අයි. කොළොන්නේ මැතිනිය කාම්බෝජ රාජධානියේ රජතුමා වන ප්‍ර බාත් සම්දෙක් ප්‍ර බොරොම්නෙත් නොරොදොම් සිහමෝනි උතුමාණන් වෙත සිය අක්තපත්‍ර ලිපිය පිළිගන්වයි

තානාපති සී. ඒ. චාමින්දා අයි. කොළොන්නේ මැතිනිය කාම්බෝජ රාජධානියේ රජතුමා වන ප්‍ර බාත් සම්දෙක් ප්‍ර බොරොම්නෙත් නොරොදොම් සිහමෝනි උතුමාණන් වෙත සිය අක්තපත්‍ර ලිපිය පිළිගන්වයි

කාම්බෝජ රාජධානියේ අතිවිශේෂ හා පූර්ණ බලැති ශ්‍රී ලංකා තානාපති වශයෙන් අක්ත ගැන්වීම සඳහා යුනෙස්කැප් හි නිත්‍ය නියෝජිත සී.ඒ. චාමින්දා අයි. කොළොන්නේ මැතිනිය වෙනුවෙන් රාජකීය හමුවක් පැවැත්වූ කාම්බෝජ රාජධානියේ රජු වන ප්‍ර බාත් සම්දෙක් ප්‍ර බොරොම්නෙත් නොරොදොම් සිහමෝනි උතුමාණන් වෙතකොළොන්නේ මැතිනිය 2022 මැයි 09 වැනි දින සිය අක්තපත්‍ර ලිපිය පිළිගැන්වූවා ය. කාම්බෝජයේ නොම් පෙන් හි පිහිටි රාජකීය මාළිගයේ පැවති මෙම උත්සවය සඳහා තානාපති කොළොන්නේ මැතිනිය සිය ස්වාමි පුරුෂයා වන වන ස්ටීවන් සේනානායක මහතා සමඟ සහභාගී වූවා ය.

තානාපතිනිය සහ එතුමියගේ ස්වාමි පුුරුෂයා උණුසුම් ලෙස පිළිගත් නොරොදොම් සිහමෝනි රජු, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අවංක සුබපැතුම් පළ කළ අතර, බෞද්ධාගමික සාරධර්ම මත පදනම්ව ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර පැවති දීර්ඝකාලීන මිත්‍ර සබඳතා සහ සහයෝගීතාව සිහිපත් කළේය.ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උණුසුම් සුබපැතුම් නොරොදොම් සිහමෝනි රජතුමා වෙත පළ තානාපති චාමින්දා කොළොන්නේ මැතිනිය, කාම්බෝජ රාජධානිය සමඟ පවත්නා දිගුකාලීන මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ විශිෂ්ඨ බැඳීම් වැඩිදියුණු කිරීමට සහ තහවුරු කිරීමට එතුමියගේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික විය.

දෙරට අතර විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා 2022 මැයි 28 වැනි දිනට වසර 70ක් සපිරෙන බව සිහිපත් කළනොරොදොම් සිහමෝනි රජු, ඉදිරි වසරවලදී දෙරටේ දේශපාලනික, ආර්ථික සහ වෙළඳ සබඳතා ඉදිරියට ගෙන යාම සඳහා සක්‍රීය ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීමටත්, දිරිගැන්වීමටත් තම පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික විය. ගුවන් සේවා, ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්ෂාව සහ ද්විත්ත්ව බදුකරණයෙන් වැළකීම,ද්විපාර්ශ්වික වෙළඳාම, ආර්ථික සහ වෙළඳ සබඳතා සහ පුද්ගලාන්තර සබඳතා සැලසෙන ආකාරයේ සෘජු ගුවන් සබඳතා පිහිටුවීම සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹීමේ වැදගත්කම තානාපති කොළොන්නේ මැතිනිය විසින් අවධාරණය කරන ලදී.

දෙරට අතර විධිමත් සබඳතා ආරම්භ කර වසර 70ක් සපිරීම නිමිත්තෙන් වැඩසටහන් මාලාවක් පැවැත්වීම පිළිබඳව ඔවුන් දෙපළ සාකච්ඡා කළහ. මෙරට සංචාරයක නිරත වන ලෙස තානාපති චාමින්දා කොළොන්නේ මැතිනිය ප්‍ර නොරොදොම් සිහමෝනි රජු වෙත යොමු කළ ඇරයුම එතුමා විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

තානාපති චාමින්දා කොළොන්නේ මැතිනිය සිය කාම්බෝජ සංචාරය අතරතුරදී, සංචාරක ක්ෂේත්‍රයේ අවබෝධතා ගිවිසුමක් සහ ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර රාජ්‍යතාන්ත්‍රික සේවයේ සහ නිල විදේශ ගමන් බලපත්‍ර දරන්නන් සඳහා වීසා අවශ්‍යතා නිදහස් කිරීම පිළිබඳ ගිවිසුමක්අවසන් කළා ය. එතුමිය පිළිවෙලින් සංචාරක අමාත්‍යාංශයේදීසංචාරක අමාත්‍ය තොංග් කුන් මැතිතුමා සහවිදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා අමාත්‍යාංශයේදීවිදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් කෝයි කුවෝංග් මැතිතුමා සමඟ මෙම ගිවිසුම් කටයුතුවල නිරත වූවා ය. අමාත්‍ය තොංග් කුන් මැතිතුමා සහ රාජ්‍ය ලේකම් කෝයි කුංග් මහතා සමඟ පැවැත්වූ ද්විපාර්ශ්වික රැස්වීම්වලට අමතරව, දෙරට අතර දේශපාලනික, සමාජ-සංස්කෘතික, වෙළඳ, ආර්ථික, ආයෝජන, සංචාරක යන ක්ෂේත්‍රවල සබඳතා සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් තානාපතිනිය සංස්කෘතික හා ලලිත කලා කටයුතු අමාත්‍ය ෆෝරුංග් සකෝනා මැතිතුමා සහ කාම්බෝජයේ වාණිජ අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් පිච් රිති මැතිතුමා  සමඟ ඵලදායී සාකච්ඡා පැවැත්වූවා ය.

තානාපති කොළොන්නේ මැතිනියධම්මයුත්තික නිකායේ මහා නායක හිමිපාණන් වන සම්දෙක් ප්‍ර අපිසරෙයි මහා සංඝ රාජාධිපති බෞර් ක්‍රයි ස්වාමීන්ද්‍රයන්, කාම්බෝජයේ මහානිකායේ මහා නායක හිමිපාණන් වන සම්දෙක් ප්‍ර අග්ග මහා සංඝ රාජාධිපති ටෙප් වොංග් ස්වාමීන්ද්‍රයන් ද හමුවූවා ය. ශ්‍රී ලංකාවේ තානාපතිවරයකු සමඟ මෙවැනි අන්තර් ක්‍රියාකාරකමක් පැවැත්වූ  ප්‍රථම අවස්ථාව මෙම හමුව බවඅවධාරණය කළ නායක ස්වාමීන්ද්‍රයන් දෙපළ තානාපතිනිය වෙත ආසිරි පැතූ අතර, ද්විපාර්ශ්වික සබඳතා තහවුරු කරන බවට සහතික වූහ.

තානාපති කොළොන්නේ මැතිනිය නොම් පෙන් හි පිහිටි වොට් ලංකා ප්‍ර කොසොමාරම් විහාරයට පැමිණියා ය. තවද, කෙට් කන්ඩාල් හි විපස්සනා ධූර බෞද්ධ මධ්‍යස්ථානයේ පූජ්‍ය කස්සප ස්වාමීන්ද්‍රයන් හමුවූ අතර, ඉන් අනතුරුව කාම්බෝජයේ වෙසෙන සහ සේවය කරන ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයන් පිරිසක් හමුවූවා ය.

තානාපති චාමින්දා කොළොන්නේ මැතිනිය වෘත්තීය රාජ්‍යතාන්ත්‍රික නිළධාරිනියක වන අතර, එතුමිය 1998 වර්ෂයේ දී ශ්‍රී ලංකා විදේශ සේවයට බැඳුණු අතර, බර්ලිනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අමාත්‍ය සහ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර, නවදිල්ලියේ සහ මොස්කව් හි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල තනතුරු දැරීය. ඇය කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් ලබා ඇති එතුමිය විදේශ සේවයට බැඳීමට පෙර කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකාවක් ලෙස සේවය කළාය. එතුමිය ශ්‍රී ලංකාවේ කොළඹ විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය

බැංකොක්

2022 ජුනි 02 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close