තානාපති උදය ඉන්ද්‍රරත්න මැතිතුමා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපතිවරයා සහ අග්‍රාමත්‍යවරයා වන ඩුබායි හි පාලකයා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

තානාපති උදය ඉන්ද්‍රරත්න මැතිතුමා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපතිවරයා සහ අග්‍රාමත්‍යවරයා වන ඩුබායි හි පාලකයා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති උදය ඉන්ද්‍රරත්න මැතිතුමා 2023 පෙබරවාරි 06 වැනි දින, අබුඩාබි හි පිහිටි ජනාධිපති මන්දිරය වන කසර් අල් වටාන්හි දී පැවති උත්සවයක් අතරතුර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපතිවරයා සහ අග්‍රාමත්‍යවරයා වන ඩුබායි හි පාලක ෂෙයික් මොහමඩ් බින් රෂීඩ් අල් මක්ටුම් උතුමාණන් වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වී ය. ප්‍රංශය, ඉතාලිය, කැනඩාව, පිලිපීනය, තායිලන්තය, මියන්මාරය ඇතුළු රටවල් නියෝජනය කළ අනෙකුත් තානාපතිවරු 15 දෙනෙකු ද එම අවස්ථාවේ දී සිය අක්තපත්‍ර පිළිගැන්වූ හ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතිගරු ෂෙයික් මොහොමඩ් උතුමාණන් වෙත පළ කළ සුබපැතුම් තානාපති ඉන්ද්‍රරත්න මැතිතුමා විසින් මෙහිදී පිරිනමන ලදී. දේශපාලන, වෙළඳ සහ ආයෝජන ක්ෂේත්‍ර ආශ්‍රිත සහයෝගිතාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ පවත්නා මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සතු කැපවීම තානාපතිවරයා විසින් යළිදු අවධාරණය කරන ලදී.

අක්තපත්‍ර භාර ගත් අතිගරු ෂෙයික් මොහොමඩ් උතුමාණන්, ජාත්‍යන්තර සහයෝගිතාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් තම රට සතු කැපවීම්වල කොටසක් ලෙස, අභිනවයෙන් පත් වූ තානාපතිවරුන්ට සිය රාජකාරි ඉටු කිරීමට අවශ්‍ය සහය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජය විසින් ලබා දෙන බව සඳහන් කළේ ය.

අතිගරු විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයෙඩ් අල් නහ්යන් මැතිතුමා ඇතුළු ඉහළ පෙළේ ප්‍රභූවරු රැසක් මෙම උත්සවය සඳහා සහභාගි වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අබුඩාබි

2023 පෙබරවාරි 16 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close