තානාපති ආසිර්වාදම් මැතිනිය, ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය වොලූන් ප්‍රදේශය තුළ ප්‍රවර්ධනය කිරීම පිළිබඳව බෙල්ජියමේ නමූර් හි ආණ්ඩුකාරවරයා සමඟ සාකච්ඡා කරයි

තානාපති ආසිර්වාදම් මැතිනිය, ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය වොලූන් ප්‍රදේශය තුළ ප්‍රවර්ධනය කිරීම පිළිබඳව බෙල්ජියමේ නමූර් හි ආණ්ඩුකාරවරයා සමඟ සාකච්ඡා කරයි

බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති ග්‍රේස් ආසිර්වාදම් මැතිනිය,  2022 මාර්තු 08 වැනි දින බෙල්ජියමේ නමූර් පළාතේ ආණ්ඩුකාර ඩෙනිස් මේතන්  මැතිතුමා, එතුමාගේ  නිල නිවසේ දී  හමුවිය. නමූර්  යනු බෙල්ජියමේ ප්‍රංශ භාෂාව භාවිතා කරන ජනතාව වෙසෙන ප්‍රදේශයක් වන වොලූන් හි අගනුවරයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස නමූර් පළාත තුළ හඳුන්වා දීම සඳහා ආර්ථික සබඳතා ප්‍රවර්ධනය කිරීම මෙම රැස්වීමේ අරමුණ විය.

වොලූන් ප්‍රදේශයේ වාණිජ හා කාර්මික මධ්‍යස්ථානයක් වන නමූර් හි වැදගත්කම පිළිබඳව පැහැදිලි කළ නමූර් හි ආණ්ඩුකාරවරයා, වොලූන් ප්‍රදේශය සමඟ පවත්නා වෙළඳ සබඳතා වැඩිදියුණු කරන අවස්ථා ප්‍රයෝජනයට ගැනීම සඳහා තානාපති කාර්යාලය මේ වන විටත් නමූර් හි පිහිටි අපනයන සහ විදේශ ආයෝජන සඳහා වන වොලූන් නියෝජිතායතනය (AWEX) සමඟ සම්බන්ධ වී ඇති බැවින් එය අගය කළේ ය. ව්‍යාපාරික සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා නමූර් පළාතේ තිරසාර ආර්ථික සංවර්ධන නියෝජිතායතනය (BEP) සමඟ සමීපව සම්බන්ධ වන ලෙස නිර්දේශ කළ ආණ්ඩුකාරවරයා, වැඩිදුර තොරතුර සැපයීමටත් BEP ආයතනය සහ තානාපති කාර්යාලය අතර පවත්නා සබඳතා සඳහා පහසුකම් සැලසීමටත් එකඟ විය.

ආණ්ඩුකාරවරයා ලබා දුන් සහය අගය කළ තානාපති ආසිර්වාදම් මැතිනියබෙල්ජියම සහ ශ්‍රී ලංකාව අතර පවත්නා වෙළඳ සබඳතාවල තත්ත්වය පැහැදිලි කළ අතර, ප්‍රංශ භාෂාව භාවිතා කරන ජනතාව වෙසෙන වොලූන් ප්‍රදේශය තුළ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් සිය උනන්දුව පළ කළේ ය. සංචාරක ව්‍යාපාරය පිළිබඳ වැඩමුළුවක් සංවිධානය කිරීම සඳහා සිය පූර්ණ සහයෝගය ලබා දෙන බව තානාපතිනිය හමුවේ තහවුරු කළ ආණ්ඩුකාරවරයා,  ඒ සඳහා සුදුසු ස්ථානයක් සොයා ගැනීම සහ කලාපයේ ප්‍රමුඛ පෙළේ සංචාරක ක්‍රියාකරුවන් හඳුන්වා දීම ඇතුළු මූලික කටයුතු සඳහා සිය සහයෝගය ලබාදෙන බවට සහතික විය. ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තයක් බවට පත්වීම සඳහා හේතු වී ඇති දර්ශනීය ස්ථාන පිළිබඳව තානාපතිනිය විස්තර කළ අතර, ඊට ප්‍රතිචාර දැක්වූ ආණ්ඩුකාර මේතන් මැතිතුමා, ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණ ස්ථාන සහ විශේෂාංග පිළිබඳව තමන් සතුටට පත්වන බව ප්‍රකාශ කළේ ය.

විශ්වවිද්‍යාල අතර පවත්නා සහයෝගීතාව ඇතුළුව, ශ්‍රී ලංකාව සහ නමූර් පළාත අතර පැවැත්විය හැකි සහයෝගීතාවයේ ශක්‍යතා ක්ෂේත්‍ර පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. අන්‍යෝන්‍ය ප්‍රයෝජනය සඳහා දෙපාර්ශ්වයේ දායකත්වය ලබා දීමටත්, සහයෝගීතාවය අඛණ්ඩව පැවැත්වීමටත් ආණ්ඩුකාරවරයා සහ තානාපතිනිය එකඟ වූහ.

 ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශිකා මධූකා සිල්වා මහත්මිය සහ ඇන්ට්වර්ප් හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් මොනික් ඩි ඩෙකර් මැතිනිය තානාපතිනිය සමඟ මෙම අවස්ථාවට සහභාගී වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බ්‍රසල්ස්

2022 මාර්තු 11 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close