තානාපතිනී මහාචාර්ය ශානිකා හිරිඹුරේගම මැතිනිය පෘතුගීසි ජනරජයේ ජනාධිපති අතිගරු මර්සෙලෝ රෙබෙලෝ ඩී සූසා මැතිතුමා වෙත අක්තපත්‍ර පිරිනමයි

තානාපතිනී මහාචාර්ය ශානිකා හිරිඹුරේගම මැතිනිය පෘතුගීසි ජනරජයේ ජනාධිපති අතිගරු මර්සෙලෝ රෙබෙලෝ ඩී සූසා මැතිතුමා වෙත අක්තපත්‍ර පිරිනමයි

තානාපතිනී මහාචාර්ය ශානිකා හිරිඹුරේගම මැතිනිය 2022 ජනවාරි මස 17වන දින පෘතුගාලයේ, ලිස්බන් නුවර අජූඩා මාළිගයේ පැවති උත්සවයක දී පෘතුගීසි ජනරජයේ ජනාධිපති අතිගරු මර්සෙලෝ රෙබෙලෝ ඩී සූසා මැතිතුමා වෙත අක්තපත්‍ර පිරිනැමුවාය.

සිය අක්තපත්‍ර පිරිනමන අතරතුර තානාපතිනී මහාචාර්ය හිරිඹුරේගම මැතිණිය ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සුබපැතුම් පෘතුගීසි ජනරජයේ ජනාධිපතිතුමන් වෙත පිරිනැමූ අතර විශේෂයෙන් ම ආයෝජන ප්‍රවර්ධනය, සංචාරක ව්‍යාපාරය සහ වෙළඳ කටයුතු යනාදී ක්ෂේත්‍රයන්ට අදාළ ව පෘතුගාලය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කළාය.

තව ද, පෘතුගිසි ජාතිකයින් විසින් කෝට්ටේ රාජධානිය තුළ වෙළඳ සබඳතා ස්ථාපනය කෙරුණු 1505 වර්ෂයේ සිට පැවති දෙරට අතර ඓතිහාසික සබඳතා පිළිබඳව තානාපතිනිය සිය අවධානය යොමු කළාය. එමෙන් ම, 16 වන සියවසේ මුල් භාගයේදී සිය වෙළඳ අවශ්‍යතාවන් විශේෂයෙන් ම ලාභදායී කුළුබඩු වෙළඳාම ආරක්ෂා කර ගැනීමට පෘතුගීසි ජාතිකයින්ගේ අභිප්‍රායන් යොමු වූ බව මෙන් ම ශ්‍රී ලංකාව සිලෝන් ලෙස හැඳින්වූ 1500 කාලවකවානුවේ භාෂාව, සංගීතය සහ ආහාරපාන සම්බන්ධයෙන් පෘතුගීසි ජාතිකයින්ගේ බලපෑම පිළිබඳව ද තානාපතිනිය මෙහි දී සඳහන් කළා ය.

ඊට ප්‍රතිචාර දක්වමින් පෘතුගීසි ජනාධිපතිවරයා දෙරට අතර අද්විතීය ඓතිහාසික සබඳතා හේතුවෙන් ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ප්‍රවේශයන් හරහා රාජ්‍යයන් දෙක අතර පවත්නා සබඳතා ශක්තිමත් කිරීමට දෙපාර්ශවය ම එක්ව කටයුතු කළ යුතු බව ප්‍රකාශ කළේය.

තානාපතිනිය සමඟ පැරීසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවන ලේකම් දුලංජි හේරත් මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගි වූවාය.

ප්‍රංශය සඳහා වන ශ්‍රී ලංකා තානාපතිවරිය‍ ලෙස පත්වූ මහාචාර්ය හිරිඹුරේගම මැතිනිය ඇන්ඩෝරා, පෘතුගාලය, ස්පාඤ්ඤය, මොරොක්කෝව යන රාජ්‍යයන් සඳහා සමගාමී ව අක්ත ගන්වා ඇති අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් යුනේස්කෝවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙස නම් කර ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ප්‍රංශය

2022 ජනවාරි 27වන දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close