තානාපතිනි කොළොන්නේ මැතිණිය  තායිලන්තයේ කර්මාන්ත අමාත්‍ය සූරියා  ජුන්ගෘන්ග්‍රියාන්කිට් මැතිතුමා සමඟ ආර්ථික හා කර්මාන්ත සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා පවත්වයි

තානාපතිනි කොළොන්නේ මැතිණිය  තායිලන්තයේ කර්මාන්ත අමාත්‍ය සූරියා  ජුන්ගෘන්ග්‍රියාන්කිට් මැතිතුමා සමඟ ආර්ථික හා කර්මාන්ත සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා පවත්වයි

තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය සහ යුනෙස්කැප් හි නිත්‍ය නියෝජිතවරිය වන සී. ඒ. කොළොන්නේ මැතිණිය 2021 දෙසැම්බර් 07 වැනි දින කර්මාන්ත අමාත්‍යංශයේ දී තායිලන්තයේ කර්මාන්ත අමාත්‍ය සූරියා ජුන්ගෘන්ග්‍රියාන්කිට් මැතිතුමා හමු වූවාය.

තානාපතිනිය උණුසුම් ලෙස පිළිගත් අමාත්‍ය ජුන්ගෘන්ග්‍රියාන්කිට් මැතිතුමා ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන දෙරටේම ආයෝජන ප්‍රතිපත්ති අතර පවත්නා සමානකම් පිළිබඳව සඳහන් කළ අතර දෙරට අතර වෙළෙඳ වටිනාකම ඉහළ නැංවීමට තායිලන්තය අපේක්ෂා කරන බව ද ප්‍රකාශ කළේය.

ආහාර සැකසීම, මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය, විලාසිතා නිර්මාණය සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය යන ක්ෂේත්‍ර ආශ්‍රිත විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම අනාගත සහයෝගීතාවය වැඩිදියුණු කරගත හැකි ක්ෂේත්‍ර ලෙස අමාත්‍ය ජුන්ගෘන්ග්‍රියාන්කිට් මැතිතුමා මෙහිදී සඳහන් කළේය. තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කරන ලෙස ද එතුමා ඉල්ලා සිටියේය.

ජුන්ගෘන්ග්‍රියාන්කිට් මැතිතුමා වෙත ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ කර්මාන්ත අමාත්‍යවරයාගේ උණුසුම් සුබපැතුම් පිරිනැමූ තානාපතිනි චාමින්දා කොළොන්නේ මැතිණිය ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය සහ විදේශ සබඳතා යනාදී කරුණු වත්මන් රජයේ ජාතික ප්‍රතිපත්තියේ ප්‍රධාන අංග තුන බවට පත්ව ඇති බවත් ආසියානු රටවල් සමඟ ශක්තිමත් සබඳතා පැවැත්වීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශය යටතේ කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍යංශය ස්ථාපිත කර ඇති බවත් අවධාරණය කළාය.

අමාත්‍ය ජුන්ගෘන්ග්‍රියාන්කිට් මැතිතුමාගේ ප්‍රකාශය අනුමත කළ තානාපතිනිය වර්තමානයේ දී ඉතා අවම මට්ටමක පවතින ශ්‍රී ලංකාවේ වෙළෙඳ කටයුතුප්‍රමාණය ඉහළ නංවා ගැනීමටත්,තායිලන්තය සමඟ අත්සන් තබන ලදඋපායමාර්ගික ආර්ථික සහයෝගිතා ගිවිසුම යටතේ හඳුනාගෙන ඇති ක්ෂේත්‍ර දහය වන යටිතල පහසුකම්, මැණික් හා ස්වර්ණාභරණ, කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, මූල්‍ය සහයෝගීතාව, ඇසුරුම්කරණය සහ තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්‍ර හාසබැඳි සහයෝගීතාව වේගවත් කිරීමටත් ශ්‍රී ලංකාව දැඩි උනන්දුවක් දක්වන බව ප්‍රකාශ කළාය.

ප්‍රමාණවත් ආර්ථික දර්ශනය, හවුල් ව්‍යාපාර සඳහා ව්‍යාපාරාන්තර හවුල්කාරීත්ව සහ ආයෝජන යනාදිය මත පදනම් වූ තායිලන්තයේ One Tambon One Product (OTOP) වැඩසටහන, ‘එක් ගමක් එක් නිෂ්පාදනයක්’ (OVOP) නමින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම මෙහිදී සාකච්ඡාවට ලක්වූ අනෙකුත් ක්ෂේත්‍ර අතර විය.

ශ්‍රී ලංකාවේ ඉල්මනයිට්, මිනිරන්, ඉලෙක්ට්‍රොනික උපකරණ, ඖෂධ, වාහන හා අමතර කොටස් සහ තේ කර්මාන්තය ආදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පවත්නා අනාගත සහයෝගීතාව පිළිබඳ අවස්ථා සෙවීම සඳහා තානාපතිනිය යොමු කළ ඉල්ලීම පරිදි අමාත්‍ය ජුන්ගෘන්ග්‍රියාන්කිට් මැතිතුමා තායි කර්මාන්ත සම්මේලනයට සහ සිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ඉදිරි දිනයක දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස තානාපතිනි කොළොන්නේ මැතිනිය අමාත්‍ය ජුන්ගෘන්ග්‍රියාන්කිට් මැතිතුමා වෙත ඇරයුම් කළාය.

කර්මාන්ත ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නටපොල්රන්ග්සිට්පෝ මහතා, අධ්‍යක්ෂිකා ප්‍රටානා බන්යාරිට් මහත්මිය, කර්මාන්ත අමාත්‍යංශයේ කර්මාන්ත ආර්ථික කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සිරිපන්කි යාට්ෆුඑන්ග්ෆූ මහතා සහ බැංකොක් දූත මණ්ඩලයේ පළමුවැනි ලේකම් සාරිතා රණතුංග මහත්මිය යනාදීහු මෙම සාකච්ඡාවට එක්වූහ.

තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය
බැංකොක්

2021 දෙසැම්බර් 13 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close