ඩුබායි හි එක්ස්පෝ 2020 (EXPO 2020) ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය විවෘත කෙරේ

ඩුබායි හි එක්ස්පෝ 2020 (EXPO 2020) ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය විවෘත කෙරේ

ඩුබායි සහ උතුරු එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා සහ එක්ස්පෝ සඳහා ශ්‍රී ලංකා නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් නලින්ද විජේරත්න මහතා සහ එක්ස්පෝ 2020 හි ප්‍රධාන ජාත්‍යන්තර සහභාගීත්ව නිලධාරී ඔමර් ෂෙහාදේ මහතා එක්ව 2021 ඔක්තෝබර් 1 වැනි දින ඩුබායි එක්ස්පෝ 2020 පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය විවෘත කළහ.

ආරාධිත අමුත්තන් පිළිගැනීම සඳහා, ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික නර්තන ඇඳුම් ආයිත්තම්වල අභිමානය විදහා දක්වන සාම්ප්‍රදායික උඩරට නර්තන සහ මඟුල් බෙර වාදනයෙන් සමන්විත පෙරහැරක් සමාරම්භක උත්සවයේ දී ඉදිරිපත් කෙරුණු අතර, ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික ගීත ගායනා කිරීම සහ පොල්තෙල් පහන දැල්වීම සිදු කෙරිණි. ඩුබායි සහ උතුරු එමීර් රාජ්‍යයේ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් නලින්ද විජේරත්න මහතා උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කළේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ සහයෝගයෙන් යුතුව, ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය විසින් එක්ස්පෝ ඩුබායි හි ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය සංවිධානය කෙරිණි. එක්ස්පෝ 2020 ප්‍රදර්ශනයේ “අවස්ථා” පෙදෙසේ ඉදිකොට ඇති ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටියේ මුඛ්‍ය අරමුණ වූයේ  ශ්‍රී ලංකාවට අනන්‍ය වූ විවිධත්වය සංචාරක ඇසකින් ලොවට විදහා දැක්වීමයි. ඒ අතරම ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය, ස්වාභාවික සුන්දරත්වය සහ ලෝකය වෙත පිරිනමන මැණික් හා ස්වර්ණාභරණ, ලංකා තේ, කලා හා අත්කම් ඇතුළු නිෂ්පාදන මෙන්ම වෙළඳ හා ආයෝජන අවස්ථා ද මාස හයක් මුළුල්ලේ පැවැත්වෙන ප්‍රදර්ශන කාලය තුළ දී ප්‍රවර්ධනය කෙරේ. එක්ස්පෝ ප්‍රදර්ශනයේ සහභාගීත්වයට සමගාමීව, ද්විපාර්ශ්වික සංස්කෘතික සබඳතා, ලංකා තේ, සෘජු විදේශ ආයෝජන සහ වෙළෙඳාම ප්‍රවර්ධනය  කිරීම සඳහා ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ ප්‍රවර්ධන කටයුතු ගණනාවක් ද සැලසුම් කොට ඇත.

එක්ස්පෝ 2020 යනු,  2021 ඔක්තෝබර් 01  වන දින සිට 2022 මාර්තු 31 වන දින දක්වා දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරය සත්කාරකත්වය දරන ලෝක වෙළඳ ප්‍රදර්ශනයකි. මෙම වෙළඳ ප්‍රදර්ශනය 2020 ඔක්තෝබර් 20 වන දින සිට 2022 අප්‍රේල් 10 වන දින  දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබුණ ද කොවිඩ් වසංගතය හේතුවෙන් එය කල් දැමීමට සිදුවිය.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

ඩුබායි සහ උතුරු එමීර්

2021 ඔක්තෝම්බර් 06  වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close