ඩකා නුවර දී ශ්‍රී ලංකාවේ 74 වැනි ජාතික නිදහස් දිනය සැමරේ

ඩකා නුවර දී ශ්‍රී ලංකාවේ 74 වැනි ජාතික නිදහස් දිනය සැමරේ

ශ්‍රී ලංකාවේ 74 වැනි ජාතික නිදහස් දින සැමරුම 2022 පෙබරවාරි 4 වැනි සිකුරාදා දින බංග්ලාදේශයේ ඩකා නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ඇතුළු කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

මහ කොමසාරිස් මහාචාර්ය සුධර්ශන් සෙනෙවිරත්න මැතිතුමා විසින් ජාතික ධජය ඔසවනු ලැබීමෙන් අනතුරුව, ජාතික ගීය ගායනා කොට නිදහස් දින උත්සවය ආරම්භ කරන ලදී. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පනවා ඇති වත්මන් සෞඛ්‍ය නීති රීති හමුවේ, බංග්ලාදේශයේ වෙසෙන බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ආගමික පූජකවරුන් පටිගත කළ වීඩියෝ දර්ශන මගින් ආගමික වතාවත් සිදු කරන ලදී. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා නිකුත් කළ නිදහස් දින පණිවිඩ ඉන් අනතුරුව ප්‍රකාශයට පත් කෙරිණි. නිදහස් දිනය නිමිත්තෙන් කොළඹ පැවති නිල උත්සවයේ සජීවී මාර්ගගත විකාශනය ඔස්සේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශයට පත් කළ නිදහස් දින පණිවිඩය නරඹන ලදී.

රැස්ව සිටි පිරිස ඇමතූ මහ කොමසාරිස්වරයා, සියල් සපිරි විවිධත්වයේ දිවයිනක් වන ශ්‍රී ලංකාව කලාව, ගෘහ නිර්මාණ ශිල්පය, තාක්‍ෂණික සහ පාරිසරික නවෝත්පාදනවලින් සමන්විත වඩාත් දර්ශනීය උරුමයන් කිහිපයක් ලොවට දායාද කොට ඇති බව ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය සඳහා බංග්ලාදේශයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව ලබා දෙන දායකත්වය වෙනුවෙන් සිය ස්තුතිය පුද කළ මහ කොමසාරිස්වරයා, තම මාතෘ භූමියට අඛණ්ඩව සහයෝගය දෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ ය.

මහ කොමසාරිස්වරයා සහ දූත මණ්ඩලයේ කාර්ය මණ්ඩලය මෙම නිල උත්සවයෙන් අනතුරුව, සාම්ප්‍රදායික කිරිබත් සහ රසකැවිලිවලින් සමන්විත සරල භෝජන සංග්‍රහයකට සහභාගී වූහ.

මහ කොමසාරිස් කාර්යාලය

ඩකා

2022 පෙබරවාරි 11 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close