ටෙහෙරානයේ පැවති ඉන්දිය සාගර වටද්දර සංගමයේ (IORA) විද්‍යා හා තාක්ෂණ හුවමාරු පිළිබඳ කලාපීය මධ්‍යස්ථානයේ (RCSTT) උපදේශක මණ්ඩලයේ 11 වැනි රැස්වීම සඳහා සහභාගී වූ ශ්‍රී ලංකාව, සහයෝගීතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් පවත්නා සිය උද්‍යෝගය අවධාරණය කරයි

ටෙහෙරානයේ පැවති ඉන්දිය සාගර වටද්දර සංගමයේ (IORA) විද්‍යා හා තාක්ෂණ හුවමාරු පිළිබඳ කලාපීය මධ්‍යස්ථානයේ (RCSTT) උපදේශක මණ්ඩලයේ 11 වැනි රැස්වීම සඳහා සහභාගී වූ ශ්‍රී ලංකාව, සහයෝගීතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් පවත්නා සිය උද්‍යෝගය අවධාරණය කරයි

IORA හි විද්‍යා හා තාක්ෂණ හුවමාරු පිළිබඳ කලාපීය මධ්‍යස්ථානයේ (RCSTT) උපදේශක කවුන්සිලයේ 11 වැනි රැස්වීම 2022 ඔක්තෝම්බර් 23 වැනි දින ඉරානයේ ටෙහෙරාන් නුවර දී පවත්වන ලදී. මෙම රැස්වීමට පෙර “Iran & IORA: Prospects and Opportunities” නමැති සමුළුව පවත්වන ලදී. ආර්ථික රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහා වන විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මහ්ඩි සෆාරි මැතිතුමා, IORA හි මහලේකම් සල්මාන් අල් ෆරිසි මහතා, ඉරානයේ සිටින එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක ස්ටෙෆාන් ප්‍රයිස්නර් මහතා, IORA සාමාජික රටවල රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල නියෝජිතයින්, සංවාද හවුල්කරුවන් සහ ඉරාන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම වැඩසටහන් සඳහා සහභාගී වූහ.

බංග්ලාදේශයේ තානාපති ගෞසාල් අසෑම් සාකර් මැතිතුමා මෙම වැඩසටහන්වල සභාපතිත්වය දැරූ, අතර විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මහ්ඩි සෆාරි මැතිතුමා, IORA හි මහලේකම් සල්මාන් අල් ෆරිසි මහතා සහ IORA හි අධ්‍යක්ෂ ගැරත් රීස් මැතිතුමා  විසින් ප්‍රධාන දේශන පවත්වන ලදී. RCSTT හි අධ්‍යක්ෂ ආචාර්ය එම්. සන්ජාබි මහතා මෙහිදී ඉදිරිපත් කිරීමක් සිදු  කළ අතර, එමඟින් RCSTT හි කාර්ය සාධනය සහ 2022-2023 සඳහා මෙම මධ්‍යස්ථානය සකස් කොට ඇති වාර්ෂික වැඩපිළිවෙල සමාලෝචනය කරන ලදී. IORA සංවිධානය වෙත තම රටේ පූර්ණ සහයෝගය ලබා දෙන බව යළිදු අවධාරණය කළ තානාපති ජී. එම්. වී. විශ්වනාත් අපොන්සු මැතිතුමා,  සංගමයේ රාමුව තුළ පවතිමින් RCSTT හි ක්‍රියාකාරකම් ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාව උනන්දුවෙන් පසුවන බවද අවධාරණය කළේ ය.

ශ්‍රී ලංකා තානාපතිවරයා මෙම වැඩසටහන්වලට සමගාමීව, ඉරානයේ නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සෆාරි මැතිතුමා, IORA හි මහලේකම් අල් ෆරිසි මහතා සහ ඉරාන වාණිජ, කර්මාන්ත, පතල් සහ කෘෂිකර්ම මණ්ඩලයේ උප සභාපති අලිරේසා යවාරි මහතා හමු වූ අතර, එහිදී  සංචාරක ව්‍යාපාරය, තාක්ෂණ කටයුතු, සංස්කෘතික කටයුතු, ආපදා අවදානම් කළමනාකරණය, නීල ආර්ථිකය සහ ධීවර කටයුතු කළමනාකරණය යන ක්ෂේත්‍ර හා සබැඳි සහයෝගීතාව IORA හි රාමුව තුළ සිටිමින් තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් පවතින හැකියාව පිළිබඳව සාකච්ඡා පැවැත්වී ය. 2022 නොවැම්බර් මස ඩකා නුවර පැවැත්වීමට නියමිත  IORA හි ඉහළ පෙළේ රැස්වීම් අතරතුර මෙම කරුණු පිළිබඳව වැඩිදුර සාකච්ඡා පවත්වන බව මෙහිදී සහතික  කෙරිණි.

IORA ලේකම් කාර්යාලය සමඟ සම්බන්ධීකරණය වී කටයුතු කළ ඉරාන රජය, IORA සංවිධානයේ 25 වැනි සංවත්සරයට සමගාමීව මෙම IORA වැඩසටහන් සංවිධානය කළේ ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ටෙහෙරානය

2022 ඔක්තෝබර් 25 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close