ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මැතිතුමාගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගී වේ

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මැතිතුමාගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගී වේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා, ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය, දිවංගත ෂින්සෝ අබේ මැතිතුමාගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා 2022 සැප්තැම්බර් 27 - 28 යන දිනවල ජපානයේ සංචාරයක නිරත විය.  දිවංගත අග්‍රාමාත්‍යවරයාට පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිවරයා, ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මැතිතුමා සහ දිවංගත අග්‍රාමාත්‍ය අබේ මැතිතුමාගේ භාර්යාව වන අකී අබේ මැතිනිය වෙත සිය ශෝකය ප්‍රකාශ කළේ ය. අග්‍රාමාත්‍ය කිෂිඩා මැතිතුමා, ප්‍රධාන කැබිනට් ලේකම් මට්සුනෝ මැතිතුමා, විදේශ අමාත්‍ය හයාෂි මැතිතුමා සහ අබේ මැතිනිය, දිවංගත අග්‍රාමාත්‍යවරයාට ගෞරව දැක්වීම සඳහා පැවැත්වූ මෙම රාජ්‍ය අවමංගල්‍යය උත්සවයට සහභාගී වූ ලෝක නායකයන් කිහිප දෙනෙකුට සිය ආචාරය පුද කළහ.

ජනාධිපති වික්‍රමසිංහ මැතිතුමා ජපානයේ රැඳී සිටි කාලය තුළ සහභාගී වූ රැස්වීම් අතරතුර නරුහිතෝ අධිරාජයා හමුවීම සඳහා ද අවස්ථාවක් හිමි කරගත්තේ ය. 2023 පෙබරවාරි 04 වැනි දින සැමරීමට නියමිත 75 වැනි නිදහස් සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස එතුමා නරුහිතෝ අධිරාජයාට ආරාධනා කළේ ය.

සැප්තැම්බර් 28 වැනි දින අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මැතිතුමා සමඟ සාකච්ඡාවක් පැවැත්වූ ජනාධිපතිවරයා, ජපාන - ශ්‍රී ලංකා සබඳතා කේන්ද්‍ර කරගනිමින් සිය අදහස් හුවමාරු කර ගත්තේ ය. ශ්‍රී ලංකාව සහ ජපානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කොට මෙම වසරේ දී වසර 70 ක් සනිටුහන් වීම සහ දෙරටේ ඉදිරි ගමන පිළිබඳව ද නායක දෙපළ මෙහිදී සිය අවධානය යොමු කළහ.

දිවංගත අග්‍රාමාත්‍ය අබේ මැතිතුමා සිය අග්‍රාමාත්‍ය ධුර කාලය තුළදී දැක්වූ මිත්‍රත්වය සහ සුහදතාව සිහිපත් කළ ජනාධිපතිවරයා, එතුමාගේ ධුර කාලය තුළ ජපානය ශ්‍රී ලංකාවේ සංවර්ධන මාවතේ සාධනීය හවුල්කරුවෙකු ලෙස ඉටුකළ කාර්යභාරය අගය කළේ ය.

ජනාධිපති වික්‍රමසිංහ මැතිතුමා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අභියෝග සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව ජපාන අග්‍රාමාත්‍ය කිෂිඩා මැතිතුමා දැනුම්වත් කළේ ය. ප්‍රධාන ණය හිමියන් සමඟ සාකච්ඡා කිරීම සඳහා ණය හිමියන් අතර සම්බන්ධීකරණ වේදිකාවක් වශයෙන් ජපානය ප්‍රධාන භූමිකාවක් ඉටු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව සඳහන් කළ එතුමා,  ශ්‍රී ලංකාව යළි සංවර්ධනය කිරීමට උපකාර කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කරන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා මූල්‍ය විශ්වසනීයත්වයක් මෙන්ම ජපානයේ ක්‍රියාකාරී මැදිහත්වීම ලබා දෙන ලෙස ද ඉල්ලා සිටියේ ය.

ජපානයේ විදේශ කටයුතු අමාත්‍ය යොෂිමසා හයාෂි මැතිතුමා 2022 සැප්තැම්බර් 27 වැනි දින ජනාධිපති වික්‍රමසිංහ මැතිතුමා හමුවිය. ජනාධිපති වික්‍රමසිංහ මැතිතුමා ජපානයේ රැඳී සිටි කාලය අතරතුර සිංගප්පූරුවේ අග්‍රාමාත්‍ය ලී හ්සියන් ලූන්ග් මැතිතුමා ද හමුවිය.

ජපාන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව ලීගය සංවිධානය කළ උදෑසන හමුවකට සහභාගී වූ ජනාධිපතිතුමා, දෙරට අතර වෙළෙඳ, ආයෝජන සහ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේ මාර්ග සොයා බැලීම සඳහා ජපාන ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගිතා කමිටුවේ ප්‍රධාන සාමාජිකයන් හමුවීමට ද අවස්ථාව ලබා ගත්තේ ය. ජනාධිපති වික්‍රමසිංහ මැතිතුමා ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය සහ ජපාන ශ්‍රී ලංකා සංගමයේ ගරු සභාපති යසුඕ ෆුකුඩා මැතිතුමා, ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා වන ජපාන බැංකුවේ (JBIC) අධිපති, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) සභාපති සහ ශ්‍රී ලංකාව කෙරෙහි උනන්දුවක් දක්වන අනෙකුත් ව්‍යාපාරික ආයතනවල ප්‍රධාන තීරකවරුන් ද හමුවිය.

ටෝකියෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ටෝකියෝ

2022 සැප්තැම්බර් 29 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close