ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඉරාන රාජ්‍ය සංචාරය

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඉරාන රාජ්‍ය සංචාරය

 

5 (2)

ඉරාන ජනාධිපති හසන් රවුහානි මහතාගේ ඇරයුමෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2018 මැයි මස 12 සහ 13 යන දිනවල ඉරානයේ රාජ්‍ය සංචාරයක නිරත විය. ජනාධිපතිවරුන් දෙපළගේ ප්‍රධානත්වයෙන් යුත් දෙරටේ නියෝජිත පිරිස් අතර ටෙහ්රාන් නුවර සදාබාද් මාලිගයේදී පැවැති නිල ද්විපාර්ශ්වික සාකච්ඡාද,  ජනපති සිරිසේන මහතා සහ එරට උත්තරීතර නායක අයතොල්ලා අලි ඛමෙනෙයි අතර පැවැති හමුවක්ද මෙම රාජ්‍ය සංචාරයට ඇතුළත් විය.

  • නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව කටයුතු කිරීම;
  • සිනමාව හා රූපවාහිනිය;
  • ප්‍රමිතිකරණය, මිනුම් විද්‍යාව, ඉරානයේ ප්‍රමිති සහ කාර්මික පර්යේෂණ ආයතනය හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අතර පුහුණු පැවැත්වීම;
  • සංස්කෘතික, විද්‍යාත්මක හා තාක්ෂණික සහයෝගිතාව; සහ
  • සෞඛ්‍යය, වෛද්‍ය විද්‍යාව, ඖෂධ හා වෛද්‍ය උපකරණ

යන ක්ෂේත්‍රවල සහයෝගිතාව පිළිබඳව ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහකට (05) අත්සන් තැබීමද මෙම සංචාරය අතරතුරදී සිදු විය.

අන්‍යොන්‍ය වශයෙන් වැදගත්වන සියලු කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරුන් දෙපළ අතර පැවති සාකච්ඡා හා අයතොල්ලා අලි ඛමෙනෙයි සමඟ පැවති හමුව, වත්මන් දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඉක්මවමින් පුරාණ ඉතිහාසය හා සංස්කෘතිය දක්වා දිව යන දෙරට අතර පුද්ගල සබඳතා මඟින් තවදුරටත් සවිමත් විය. ශ්‍රී ලංකාව හා ඉරානය අතර වෙළෙඳ සබඳතා කෙරෙහි අවධානය යොමුකරමින්, ආර්ථික සහයෝගිතාව පිළිබඳ ඒකාබද්ධ කොමිසමේ 12 වැනි සැසිවාරය මෙම වසරේ අගෝස්තු මස පැවැත්වීමේ ඇති වැදගත්කම පිළිබඳව ජනාධිපති සිරිසේන මහතා හා ජනාධිපති රවුහානි මහතා එකඟත්වය පළ කළහ. සංචාරක, කෘෂිකාර්මික, ධීවර හා ජලජීවී වගා, කිරි නිෂ්පාදන වැනි ක්ෂේත්‍රවලද ඇතුළුව වෙළෙඳ, ආර්ථික හා ව්‍යාපාරික සහයෝගිතාවත්, ප්‍රවාහන සහ යටිතල පහසුකම් සම්බන්ධතා යන ක්ෂේත්‍රවල කෙරෙන ආයෝජනත් වඩා යහපත් අන්දමින් කළමනාකරණය කිරීම සඳහා ආර්ථික සහයෝගිතාව පිළිබඳ ඒකාබද්ධ කොමිසම පැවැත්වීම ඉවහල් වන බව හඳුනා ගැනිණි.

විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන්, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ පාර්ලිමේන්තු   මන්ත්‍රී කේ. කාදර් මස්තාන් යන මහත්වරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ මෙම      රාජ්‍ය සංචාරයට එක් වූහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2018 මැයි 16 වැනිදා

 

sinpdf
Iran 1
Iran 2
Iran 3
iran5
iran 6
Iran 7
iran 8
iran 9
Print Friendly, PDF & Email
Please follow and like us:

Close