ජනසංහාරය වැලැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ උපදේශකවරයා සහ ආරක්ෂා කිරීම පිණිස වූ වගකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ උපදේශකවරිය විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ප්‍රතිචාර දක්වයි

ජනසංහාරය වැලැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ උපදේශකවරයා සහ ආරක්ෂා කිරීම පිණිස වූ වගකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ උපදේශකවරිය විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ප්‍රතිචාර දක්වයි

ජනසංහාරය වැලැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ උපදේශක අඩමා ඩියෙන්ග් මහතා සහ ආරක්ෂා කිරීම පිණිස වූ වගකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ උපදේශක කැරන් ස්මිත් මහත්මිය විසින් 2019 මැයි 13 වැනි දින ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයට ශ්‍රී ලංකා රජය ප්‍රතිචාර දක්වා තිබේ.

එම ඒකාබද්ධ ප්‍රකාශයට ශ්‍රී ලංකා රජය ප්‍රතිචාර දක්වා ඇත්තේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන් සඳහා වූ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය රොහාන් පෙරේරා මහතා මඟින් විශේෂ උපදේශක දෙපළ වෙත ඉකුත් මැයි 24 වැනි දින ලිපියක් යවමිනි.

පූර්ව විනිශ්චයෙන් යුත් ඔවුන්ගේ ප්‍රකාශය සියලු දෙනාගේ සුරක්ෂිතබව වෙනුවෙන් නීතිය හා සාමය පවත්වාගෙන යෑමටත්, නොසන්සුන්කාරීබව සමනය කිරීමටත් රජය ඉතා දැඩි පියවර ගනිමින් සිටින අවස්ථාවක කරුණු කාරණා තවදුරටත් උද්වේගකාරීබවකට පැමිණවීම පමණක් සිදු කරන බවත්, එය සිදුවමින් පවතින වඩාත් ගැඹුරු සහ සියුම් වූ වෙනස්කම් සහිත කරුණු කාරණා නොසලකා හරිමින්,  සත්‍ය තත්ත්වයන් විකෘති කොට, අප්‍රේල් 21 වැනිදායින් පසු හටගත් සිද්ධි, පටු සාම්ප්‍රදායික දෘෂ්ටි කෝණයක් ඔස්සේ අර්ථකථනය කරන බවත්         ශ්‍රී ලංකා රජය සිය පිළිතුරු ලිපියේ ප්‍රකාශ කොට ඇත.

ජනසංහාරය වැලැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ උපදේශක අඩමා ඩියෙන්ග් මහතා සහ ආරක්ෂා කිරීම පිණිස වූ වගකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ උපදේශක කැරන් ස්මිත් මහත්මිය වෙත ආචාර්ය රොහාන් පෙරේරා මහතා විසින් යවන ලද සම්පූර්ණ ලිපියේ පෙළ පහත දැක්වේ:

පෙළ ආරම්භය

‘ආගම මත පදනම්ව ශ්‍රී ලංකාවේ වර්ධනය වමින් ඇති ප්‍රචණ්ඩ ක්‍රියා’ සම්බන්ධයෙන් සන්ත්‍රාසය පළ කරමින්, 2019 මැයි 13 වැනි දින මාධ්‍යවේදීන් සඳහා වූ සටහනක් ලෙස ඔබ විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය ශ්‍රී ලංකා රජය ඉතා සැලකිල්ලෙන් යුතුව සමාලෝචනයට බඳුන් කොට ඇත. ඔබ විසින් පළ කරන ලද කනස්සල්ල සැලකිල්ලට ගන්නා අතරම, ඉතා සියුම් වෙනස්කම්වලින් හෙබි හා සංකීර්ණ වූ සිද්ධීන් සම්බන්ධයෙන් ඔබ විසින් කරන ලද වුවමනාවටත් වඩා සරළ කරනු ලැබූ ආඛ්‍යානය කියැවීමෙන් අපි කම්පනයට පත් වීමු.

පසුගිය දශකය තුළ, ශ්‍රී ලංකාවේ ජනතාව තමන් ඉතා අසීරුවෙන් දිනාගත් සාමය සහ නිදහස භුක්ති විඳිමින් සිටි අතර බෙදුම්වාදී ත්‍රස්තවාදය සමඟ දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ කරනු ලැබූ අරගලයකින් අනතුරුව සංහිඳියාව උදාකර ගැනීමේ හා ජාතිය සුවපත් කිරීමේ දුෂ්කර ව්‍යායාමයට අවතීර්ණ වී සිටියහ. ලෝකයේ බොහෝ පෙදෙස්වල පැතිරුණු ගෝලීය මානයක් සහිත අයිසිල්/ දාඑෂ් සංවිධානවලින් අනුප්‍රාණය ලැබූ කුරිරු ත්‍රස්තවාදී කණ්ඩායම් කළාක් මෙන්, පාස්කු ඉරුදින බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරවල අරමුණ වූයේ අප අතර බෙදීම් ඇති කොට, අපගේ බහු වාර්ගික, බහු ආගමික, හා බහු සංස්කෘතික සමාජයේ නිර්මිතය විනාශ කොට දමා, අපගේ ආර්ථිකයට හිතාමතාම මරු පහරක් එල්ල කිරීමය. එම ප්‍රහාරය විසින් ජනිත කරනු ලැබූ කම්පනයෙන් මිදීමට සාමයට ලැදි සියලු ශ්‍රී ලාංකික පුරවැසියෝ තවමත් වෑයම් කරමින් සිටිති.

ප්‍රහාරවලින් අහිමි වූ අහිංසක ජීවිත ගැන අප ශෝකවමින් සිටින අතරතුර, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාද ඇතුළුව ජාත්‍යන්තර ප්‍රජාවේ අපගේ මිතුරන් කෙරෙන් අපට ලැබුණු සහය සහ අස්වැසිල්ල අපගේ හද තුළ ගැඹුරු හැඟීමක් ජනිත කරවයි. මෑත වකවානුවේදී ලොව පුරා බොහෝ පෙදෙස්වල අහිංසක ජීවිත රැසක් බිලිගත් ත්‍රස්තවාදය තුළත් එහි ස්වරූපයන් වූ රැඩිකල්කරණය හා ප්‍රචණ්ඩකාරී අන්තවාදය තුළත් පොදු සතුරකුට එරෙහිව අප සටන් කරන බව ඉන් අපට සිහිපත් කර දෙනු ලැබිණි.

මෙම සන්දර්භය තුළ, ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමට පෙර ඔබගේ කනස්සල්ල ශ්‍රී ලංකා රජය වෙත පළමුව සැලකිරීම වැදගත් යැයි ඔබ සැලකිල්ලට නොගැනීම ඉතාමත් අසංවේදී මෙන්ම මනා ලෙස සිතා නොබැලූ ක්‍රියාවකි. ශ්‍රී ලංකා රජයට එසේ පළමුව කනස්සල්ල සැලකිරීම ඔබ දෙපළට නියම වූ කාර්යය වන කල්තබා අනතුරු ඇඟවීම හා අදාළ කරුණ සම්බන්ධයෙන් අදහස් දැක්වීම යන්නෙහි ප්‍රධාන අරමුණු සමඟද එකඟ වන්නට ඉඩ තිබිණි. එක්සත් ජාතීන්ගේ පද්ධතිය සමඟත් එහි විශේෂ නියෝජිතයන් හා විධිනියෝගධාරීන්ද ඇතුළුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණය සමඟත් පසුගිය වසර කිහිපය තිස්සේම ඉතා හොඳින් පිළිගැනීමට ලක් වූ, විවෘත හා ඵලදායී සහසම්බන්ධතාවක් ශ්‍රී ලංකාව පවත්වාගෙන යමින් සිටින අවස්ථාවක ඔබගේ ප්‍රකාශය නිකුත් වීම සම්බන්ධයෙන් අපි විශේෂයෙන්ම කලකිරීමට පත්ව සිටින්නෙමු. එවැනි මානව හිමිකම් විශේෂ නියෝජිතයන් අට දෙනකු ඉකුත් සිවුවසර තුළ ශ්‍රී ලංකාවට පැමිණි අතර, එවැනි මට්ටමේ සම්බන්ධතාවක් පවත්වාගෙන ඇති රටවල් අතළොස්ස අතරට ශ්‍රී ලංකාවද අයත් වෙයි. එම සන්දර්භය තුළ, ඔබගේ ධූරවලින් කරනු ලබන අර්ථදායක විවේචන හා නිරීක්ෂණද අප උද්යෝගයෙන් යුතුව පිළිගැනීමට ඉඩ තිබිණි. පූර්ව විනිශ්චයෙන් යුත් ඔබගේ ක්‍රියාවෙන් සියලු දෙනාගේ සුරක්ෂිතබව වෙනුවෙන් නීතිය හා සාමය පවත්වාගෙන යෑමටත්, නොසන්සුන්කාරීබව සමනය කිරීමටත් රජය ඉතා දැඩි පියවර ගනිමින් සිටින අවස්ථාවක කරුණු කාරණා තවදුරටත් උද්වේගකාරීබවකට පැමිණවීම පමණක් සිදු කෙරෙයි.

ඔබගේ ප්‍රකාශය, සිද්ධීන් පිළිබඳව ඔබ සතු සීමිත අවබෝධය පෙන්නුම් කරන බවත්, එය වනාහී කලින් නිශ්චය කරගත් මත ප්‍රකාශ කිරීමක් බවත් නොකියා බැරිය. බෞද්ධ බහුතරයක් වෙසෙන රටක් වන ශ්‍රී ලංකාවේ මුස්ලිම් හා ක්‍රිස්තියානි ප්‍රජාවන්වලට මෑත කාලයේ එල්ල වූ ප්‍රහාර මාලාවක් විශේෂ උපදේශකවරුන් දුටු බවත්,  “ආගමික සුළුතරය අවදානමෙහි හෙලමින්, ආසියානු කලාපයේ පවතින, අනන්‍යතාව පිළිබඳ ජාතිකවාදී හා අන්තගාමී අදහස් උදහස්වල වර්ධනය වමින් පවතින බලපෑම මෑත කාලයේ ශ්‍රී ලංකාවේ හටගත් ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ඉස්මතුවී පෙනෙන බවත් පැවසීමෙන් ඔබගේ ප්‍රකාශය සිද්ධීන් සාමාන්‍යකරණයකට ලක් කොට සත්‍ය කරුණු වැරදි සහගත ලෙස විස්තර කරයි. එය වගකීම් විරහිත හා භයානක ක්‍රියාවක් වන අතර ඔබගේ ධූරවල ඇති ස්වාධීනත්වයට මෙන්ම විශ්වසනීයත්වයටද නොගැලපෙයි.

සත්‍ය වශයෙන්ම, අපගේ ආදරණීයයන් 250 කට අධික සංඛ්‍යාවක්ද (ඉන් වැඩි දෙනා අයත් වූයේ ශ්‍රී ලංකාවේ කතෝලික ප්‍රජාවටය), ශ්‍රි ලංකාවට පැමිණි විදේශීය අමුත්තන් 45 දෙනකුද මරා දැමූ පාස්කු ඉරුදින ප්‍රහාර සහ මැයි 11 සති අන්තය තුළ හටගෙන ඉතාමත් කඩිනමින් සමථයකට පත් කරනු ලැබූ වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා ඒකාබද්ධ කිරීම පවා අප ඔබගේ උත්කෘෂ්ට ධූරවලින් අපේක්ෂා නොකළ දෙයකි. පාස්කු ඉරුදින ප්‍රහාර, අයිසිස් සංවිධානයේ බලපෑම හා අනුප්‍රාණය ලැබ ඉස්ලාමීය මූලධර්මවාදීන් විසින් සිදු කරන ලද බවත් ඒවා කිසිදු දේශීය තත්ත්වයක ප්‍රතිඵලයක් නොවන බවත් ලෝක ප්‍රජාව හඳුනාගත් බව ඉතා ප්‍රත්‍යක්ෂ ලෙස පැහැදිලි කරනු ලැබිණි. ප්‍රධාන වශයෙන්ම යාඥාවේ නිරතව හුන් කිතු බැතිමතුන්ට එරෙහිව එල්ල වූ මෙම ප්‍රහාර රැඩිකල්කරණයේ හා අන්තවාදයේ ගෝලීය ප්‍රවණතාවල කොටසකි.

මිලියන 22 ක් වූ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 10% ක් නිර්මාණය කරන මුස්ලිම් ජාතිකයන් මිලියන දෙකහමාරක් පමණ ශතවර්ෂ ගණනාවක් තිස්සේ 70% කටත් අධික වූ බෞද්ධ බහුතරයත් සෙසු ආගමිකයනුත් මැද සමගියෙන් වාසය කොට තිබේ. ශ්‍රී ලංකාවේ තිස් වසරක් පැවැති බෙදුම්වාදී ත්‍රස්තවාදී සන්නද්ධ ගැටුම අතරතුර, බෞද්ධ පූජනීය ස්ථාන සහ ඉස්ලාමීය ආගමික ස්ථානවලට පහර දී බැතිමතුන් අමුඅමුවේ මරා දමා සිදු කළ මහත් වූ කුපිතකිරීම් මධ්‍යයේ පවා ආගම කිසිවිටෙක ප්‍රචණ්ඩත්වයට හේතුවක් වූයේ නැත. එබැවින්,ඉහත ප්‍රකාශය සිදුවමින් පවතින වඩාත් ගැඹුරු සහ සියුම් වූ වෙනස්කම් සහිත කරුණු කාරණා නොසලකා හරිමින්,  සත්‍ය තත්ත්වයන් විකෘති කොට, අප්‍රේල් 21 වැනිදායින් පසු හටගත් සිද්ධි පටු සාම්ප්‍රදායික දෘෂ්ටි කෝණයක් ඔස්සේ අර්ථකථනය කරයි.

සියලු ආගමික ස්ථානවලට අමතර ආරක්ෂාව සැපයීම, ඉතා සංවේදී කෙටි කාල පරාසයක අසත්‍ය තොරතුරු පැතිරීම වැලැක්වීම සඳහා සමාජ මාධ්‍ය සීමාකිරීම, සහ පුද්ගලයන් හඳුනාගැනීමට බාධා ඇතිකරවන මුහුණු ආවරණ තහනම් කිරීම වැනි ආරක්ෂක පියවර රැසක්, ප්‍රහාර සිදුවූ වහා රජය විසින් ගනු ලැබූ බව සඳහන් කිරීම උචිතය. මෙවැනි පියවර රැගෙන තිබියදීත්, එක් පුද්ගලයකුගේ ශෝකජනක මරණය සිදු කරමින් රටේ ඇතැම් පෙදෙස්වල හුදෙකලා සිද්ධීන් අතළොස්සක් ඇතිවීම කනගාටුවට කරුණකි. පැය කිහිපයක් ඇතුළත, ප්‍රචණ්ඩ ක්‍රියා උග්‍ර අතට හැරීම ව්‍යර්ථ කිරීමට රජය කඩිනම් පියවර ගත් අතර, වරදකරුවන් වහා අත්අඩංගුවට ගෙන නියමිත නෛතික ක්‍රියාපරිපාටියට යටත් කරන ලදී.

ශ්‍රී ලංකාව සැබැවින්ම ‘බහුවිධ සමාජයක්’ වන අතර, ආගම ඇදහීමේ නිදහස, රට තුළ ඔබ මොබ යෑමේ නිදහස සහ වාසස්ථානය තෝරාගැනීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම සහතික කොට තිබේ. අන්තර්-ලබ්ධි, අන්තර්-ආගමික සමගියත්, අන්තර්ගතභාවයත් ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ පද්ධතියේද සහය ඇතිව රජය විසින් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කොට ඇත. ඒ බව ඔබද සඳහන් කොට තිබිණි. ප්‍රජාවන් අතර සමගිය හා අවිහිංසාව වෙනුවෙන් දේශපාලන නායකත්වය පමණක් නොව කොළඹ අගරදගුරුතුමන් සහ සෙසු බෞද්ධ භික්ෂූන්වහන්සේලා මෙන්ම හින්දු සහ ඉස්ලාම් පූජකවරුන්ද ආයාචනා කළ විට මේ බව පැහැදිලිව පෙන්නුම් කෙරිණි.

ශ්‍රී ලංකාව කම්පනය කළ ත්‍රස්ත ක්‍රියාවල දැවැන්තභාවය,  ආගමික ආධානාග්‍රාහීන් අතර රට තුළ සිදු වූ දබරයක තත්ත්වයට අඩු කරන්නට හෝ යථාර්ථයෙන් සපුරාම වෙනස් වූ “ආගමික නොරිස්සීම සහ ප්‍රචණ්ඩත්වය චිරස්ථායී කරන වෙනස් කොට සැලකීමේ දේශීය ව්‍යවහාරයන්” එහි හේතුව විණැයි පවසමින් ඊට අවමාන කිරීමට දැන හෝ නොදැන දායක නොවන්නට කෙනෙකු ප්‍රවේසම් විය යුතුය. මෙය පැහැදිලිවම ගෝලීය ත්‍රස්ත ජාලයේ ප්‍රතිඵලයක් හෝ කොටසක් හෝ වන බැවින්, මෙම ව්‍යසනය මුලිනුපුටා දැමීම පිණිස සියලු හවුල්කරුවන්ගේ මනා වූ අවබෝධයත් සහයෝගයත් අත්‍යවශ්‍ය වේ. වගකීමකින් යුත් බලධාරීන් නොකල්හි කරන ප්‍රකාශවලින් සිදුවනුයේ ශ්‍රී ලංකාව සාමයේ හා සංවර්ධනයේ මාවතෙන් එළියට ඇද දැමීමට අදිටන් කොටගත් දුර්අභිලාෂවලින් යුත් පාර්ශ්වවල හා අන්තවාදී කොටස්වල දෑත් ශක්තිමත් කිරීම පමණි.  මේ අවස්ථාවේ ඇති අවශ්‍යතාව වනුයේ ඉතා හොඳින් සිතා බලා දෙන උපදේශත්, ප්‍රචණ්ඩකාරී අන්තවාදයෙන් මතුවන නව අභියෝගවලට ශ්‍රී ලංකාවටත් එහි සියලු ජනතාවටත් මුහුණදීමට හැකිවන ලෙස තත්ත්වයන් පැහැදිලි කරගැනීමට සහය වීම පිණිස ඔබගේ කාර්යාලවලින් ලබා දෙන ප්‍රාමාණිකයන්ගේ සහයෝගයත් ය.

අපගේ රටත්, එහි සියලු ජනතාවත් පසුවන මේ අසීරු අවස්ථාවේදී ඔබගේ අවබෝධයත්, සහයෝගයත් අපි උදක්ම අපේක්ෂා කරමු.

පෙළ අවසානය

 

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

 

2019 මැයි 26 වැනිදා

2 Attachments

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close