ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා - ඉන්දුනීසියානු ඓතිහාසික සබඳතා යළි පුබුදුවාළීම පිළිබඳ වෙබිනාර් සාකච්ඡාවක් සංවිධානය කරයි

ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා – ඉන්දුනීසියානු ඓතිහාසික සබඳතා යළි පුබුදුවාළීම පිළිබඳ වෙබිනාර් සාකච්ඡාවක් සංවිධානය කරයි

ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කැලණිය විශ්වවිද්‍යාලය සහ ඉන්දුනීසියානු විශ්වවිද්‍යාලය සමඟ එක්ව 2022 පෙබරවාරි 24 වැනි දින ශ්‍රී ලංකා - ඉන්දුනීසියානු ඓතිහාසික සබඳතා පිළිබඳ වෙබිනාර් සාකච්ඡාවක් සංවිධානය කළේ ය. විශ්වවිද්‍යාල සිසුන් සහ විද්වතුන් ඇතුළු 104 දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වූහ. ඉතිහාසය, භාෂාව සහ ආගම පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත ඉන්දුනීසියාව, ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කළ විද්වතුන් පස් දෙනෙකු මෙම සාකච්ඡාවේ දී දේශන පැවැත්වූ හ.

සිය ආරම්භක දේශනය ඉදිරිපත් කළ ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති යසෝජා ගුණසේකර මැතිනිය, ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර අතීතයේ පටන් ආගමික, සංස්කෘතික සහ සමාජ-ආර්ථික සබඳතා හුවමාරු වූ බවත්, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 70ක් සපිරීමේ සංවත්සරය 2022 වසරට යෙදෙන බවත් සඳහන් කළා ය.

වෛද්‍ය ඉතිහාසඥ වෛද්‍ය සමීර් කරීම් මහතා මෙම වැඩසටහනේ පළමු සැසිය අතරතුර දී ශ්‍රී ලංකාවේ මැලේ ප්‍රජාවගේ ඉතිහාසය, උරුමය සහ ඔවුන් ශ්‍රී ලංකාවට දැක්වූ දායකත්වය පිළිබඳව සාකච්ඡා කළේ ය. ඉන්දුනීසියානු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පීටර් කේරි මහතා, දහඅටවැනි සියවසේ ලංකාව සහ ඕලන්ද නැගෙනහිර ඉන්දීය සමාගම පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදු කළේ ය.

ඊශ්‍රායලයේ හීබෲ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොනිට් රිකී මහතා, දෙවැනි සැසිය අතරතුර දී ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු මැලේ ජාතිකයන් පිටුවහල් කිරීම පිළිබඳව විස්තර කළ අතර, ඉන්දුනීසියානු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අස්යුමාර්ඩි අස්රා මහතා, ශ්‍රී ලංකා - ඉන්දුනීසියානු ඓතිහාසික සබඳතා පිළිබඳව ආගමික දෘෂ්ටිකෝණයකින් සාකච්ඡා කළේය. කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය රොමෝලා රසෝල් මහත්මිය ශ්‍රී ලාංකික මැලේ භාෂාව පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදු කළා ය.

තුන්වන සැසියේ දී ඉන්දුනීසියානු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ආචාර්ය බොන්ඩන් කනුමොයෝසෝ මහතා සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය නීලක්ෂි සී. ප්‍රේමවර්ධන මහත්මිය දෙරටෙහි විශ්වවිද්‍යාල දෙක අතර පැවැත්විය හැකි ඉදිරි අධ්‍යයන සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කළහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
ජකර්තා

2022 මාර්තු 07 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close