චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රථම වරට තමිල්නාඩුවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සඳහා වෛද්‍ය කඳවුරක් සංවිධානය කරයි

චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රථම වරට තමිල්නාඩුවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සඳහා වෛද්‍ය කඳවුරක් සංවිධානය කරයි

තමිල්නාඩුවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය මඟින් සපයනු ලබන සේවාවන්හි දිගුවක් ලෙස, එම කාර්යාලය, 2022 ජුනි මස 28 වන දින කාර්යාල පරිශ්‍රයේ දී විශේෂ වෛද්‍ය කඳවුරක් සංවිධානය කරන ලදි.

ත්‍රිචි හි පිහිටි ස්ටාර් කිම්ස් ඉන්ටර්නැෂනල් හොස්පිට්ල්ස් හි වෛද්‍ය රාජරත්නම් මහතා ඇතුළු කණ්ඩායම විසින් මෙම වෛද්‍ය කඳවුර පවත්වනු ලැබීය. මෙම අවස්ථාවට සහභාගි වූ සියල්ලන් තනි තනිව පරීක්ෂාවට ලක් කරනු ලැබූ අතර මූලික වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර නොමිලේ සිදු කරන ලදි.

තිරුප්පූර්, පෙරම්බලූර්, කොයිම්බතූර්, විරුදුනගර්, සේලම් සහ ධර්මපුරි යන දිස්ත්‍රික්කවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් 500ක් සමඟ පැවති විශේෂ කොන්සියුලර් කඳවුරකට සමගාමීව මෙම වෛද්‍ය කඳවුර පැවැත්විණි. එම කොන්සියුලර් කඳවුරේ දී පුරවැසි සහතික 483 ක්, උප්පැන්න සහතික 97ක් සහ ආර්ආර්පී (RRP) (සරණාගතයන් සියරට පැමිණවීමේ වැඩසටහන) ගමන් බලපත්‍ර 5ක් ද නිකුත් කරනු ලැබීය.

නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය මඟින් සංවිධානය කෙරෙන සෑම විශේෂ කොන්සියුලර් කඳවුරකට සමගාමීව ඉදිරියේ දී වෛද්‍ය කඳවුරක් පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය

චෙන්නායි

2022 ජූලි 19 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close