චීනය හා ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

චීනය හා ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

චීන සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ ලියොනිං විශ්වවිද්‍යාලය සහ ගම්පහ වික්‍රමරාච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබේ.  ලියාඕනිං පළාතේ ෂෙන්යැන්ග් හිදී මෙම ගිවිසුම අත්සන් කළ අවස්ථාවට , තානාපති ආචාර්ය පාලිත කොහොන මහතාද සහභාගි වී සිටියහ. නවීන හා සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව භාවිතා කරමින් චීනය සාර්ථකව කොවිඩ්-19 කළමනාකරණය කර ගැනීම පිළිබදව තානාපති කොහොන මහතා මෙහිදී චීනයට සිය ප්‍රශංසාව පළ කළේය. සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව කොවිඩ්-19 මර්දනය සඳහා බහුලව භාවිතා වන අතර, එය ජනාධිපති ෂී ජින්පින් මැතිතුමාගේ පැසසුමට ලක්විය. ජනාධිපති ෂී මැතිතුමා චීන සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව “චීන ජාතියේ නිධානය” ලෙස නම් කර තිබේ.

කොවිඩ්-19 එන්නත බුද්ධිමය දේපල සීමාවලින් තොර ගෝලීය මහජන යහපතක් බවට පත් කරන ලෙස චීනය විසින් ඉල්ලා තිබේ. සංවර්ධනය වෙමින් පවතින රටවලට චීනය විසින් එන්නත් විශාල ප්‍රමාණයක් පරිත්‍යාග කර ඇති අතර, මාත්‍රා මිලියන 2.6 ක් ශ්‍රී ලංකාවට ලබා දී ඇත. උපතේ සිට මරණය දක්වා මහජනතාවගේ අරමුදල්වලින් ක්‍රියාත්මක වන සෞඛ්‍ය සේවා පද්ධතියක් ඇතැයි උදම් අනන ශ්‍රී ලංකාවටද, මෙම භයානක වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව භාවිත කළ හැකිය.

මෙම අවස්ථාවේ දී, විශ්වවිද්‍යාල දෙක අතර ගුරුවරුන් හා සිසුන් හුවමාරු කර ගැනීම සහ අදහස් හා ප්‍රතිකාර ක්‍රම අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් ලෙස යොදා ගැනීම සඳහා මෙම අවබෝධතා ගිවිසුම මඟින් පහසුකම් සැලසෙනු ඇති බවට ආචාර්ය කොහොන මැතිතුමා සහ අනෙකුත් කථිකයෝ අපේක්ෂාව පළ කළහ. මෙම අවස්ථාවට පෙර තානාපතිවරයාට දිවා භෝජනය පිරිනැමූ ලියොනිං හි උප ආණ්ඩුකාරවරයා, මෙම පියවර පිළිබඳව ප්‍රශංසා කළේය.

චීන සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ ලියොනිං විශ්වවිද්‍යාලය සරසවි තුනක පැතිරී ඇති අතර, එහි ශිෂ්‍ය සංඛ්‍යාව 30,000 කි. එය අති නවීන පර්යේෂණ පහසුකම්වලින් සමන්විතය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2021 ජූලි 29 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close